කපපු පළා ඇසුරුම මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නෙ අපි – ජානකී කත්‍රිආරච්චි – ‘රන්බත්’ පුද්ගලික සමාගම, Three star organic farm සභාපතිනී

කැපූ පලාවර්ග වෙළෙඳ‍පොළට එකතු කර කාර්යබහුල ගෘහණියන්ගේ කුස්සියේ ඉවුම් පිහුම් පහසු කිරීම සඳහා මහඟු පිටුවහලක් ලබාදුන් ජානකී කත්‍රිආරච්චි මහත්මිය මෙවර Billion word විශේෂාංගය සමග එක්වෙයි. ඇයගේ රන්බත් පුද්ගලික සමාගම 2017 හොඳම පරිසර හිතකාමී ව්‍යාපාරය ලෙස සම්මානයක් Chamber of Commerce ආයතනයේ 2017 විශිෂ්ටතා රන් සම්මානයත්, 2017 හොඳම කාන්තා ව්‍යවසායකත්වයට හිමි සම්මානයත් 2017 සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ හොඳම කාන්තා ව්‍යවසායකත්වයට හිමි සම්මානයත් දිනාගෙන ඇති අතර 2017 වසරේ සම්මාන Slim brand excellence සම්මාන උළෙ‍ලේ හොඳම සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ හොඳම සන්නාමය ලෙස ‘රන්බත්’ සන්නාමය සම්මාන හිමිකරගෙන තිබේ.

ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරන ප්‍රාථමික අවධිය ගැන මුලින්ම කතා කළොත්?

මගේ ගම පිළියන්දල, මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඒ වගේම පිළියන්දල හිටපු නගරාධිපතිවරයෙක්. ඔහුගේ නම ඩී.ඩී. කොරනෙස්. මගේ මව අපිව බලාගෙන ගෙදර හිටියා. මට අක්කලා දෙන්නෙකුයි අයියා කෙනකුයි ඉන්නවා. මම පවු‍ලේ බාලයා.
මුලින්ම පාසල් ගියේ පිළියන්දල මාම්පේ කනිෂ්ඨ
විද්‍යාලයට. පස්සේ පානදුර යහපත් එ¾ෙඩ්රාගේ කන්‍යාරාමයටත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටත් ගියා.

සෙල්ලම් වයසෙදි අධ්‍යාපනය ගැන හිතුවේ මොන වගේද?

ප්‍රාථමික අධ්‍යාපනය සමයේ වැඩිපුර අධ්‍යාපනය ගැන හිතුවෙ නැති වුණත් හැමදාම පන්තියේ පළවෙනියා වුණා. ඒ වගේම ඒ පන්ති ඔක්කොගේම පළමුවැනියා වුණෙත් මමයි. හයේ පන්තියේ ඉඳලම ක්‍රීඩාවට යොමු වුණා. අවුරුදු 13න් පහළ ඉඳලා 19 පහළ දක්වා හැම වසරකම පාසල් මලල ක්‍රීඩා ශූරතාව දිනාගන්නේ මමයි. ජවන හා පිටිය තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා ගියා. පාසල් කාලයෙන් වැඩිම කාලයක් ක්‍රීඩාංගණයේ ගත වුණා. සතියකට දවස් තුනක් ටොරින්ටන්වල පුහුණුවීම් කළා.

පාසල් වෙලාවේ පන්තියේ උගන්නන ටික හොඳින් මතක තියාගත්තා. ඒ කා‍ලේ ලොකුවට ටියුෂන් තිබුණේ නැහැ. විභාග කිට්ටු වෙනකොට ක්‍රීඩා පුහුණුවීම් කරලා ඇවිල්ලා පැයක් නිදාගෙන නැගිටලා පාඩම් කළා.

ඔය කාලෙ ගෙදර තත්ත්වය මොනවගේද?

ලොකු ආර්ථික ප්‍රශ්න තිබුණෙ නැහැ. තාත්තගෙ දේශපාලන කටයුතුත් එක්ක සමාජයට ලොකුවට වියදම් කළා. අපේ කුඹුරුවල තිබුණ හාල් ටික අපේ ඉඩම්වල වැවුණ ධාන්‍ය, එළවළු, පලතුරු ටික සහ තාත්තගේ වැටුප අපේ පවුලට හොඳටම ප්‍රමාණවත් වුණා. අපි පුංචි කාලෙ ඉඳලම කුඹුරු සහ අනෙකුත් ගොවිතැන් කටයුතුත් එක්කම වැඩුණා. මම පුංචි කාලෙ ඉඳලම තාත්තගේ අතේ එල්ලිලා කුඹුරු ගොවිතැන් වගා බිම්වල ඇවිද්දා. එදා ඉඳලම ඒවා අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තිබුණා.

උසස් පෙළ විභාගයෙන් පසුව ජීවිතය යම් කඩඉමක් වෙනවා නේද?

ඔව්. උසස් පෙළ සමත් වුණත් කැම්පස් යන්න ලකුණු මදිවුණා. ඔය අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙලා 1988 දී විවාහ වුණා. මගේ සැමියා සුජීව බාලසූරිය. ප්‍රශ්න හුඟක් තිබුණා. ඒත් ඒවා ප්‍රශ්න කියලා ලොකුවට හිතට ගත්තෙ නැහැ. ඔය කා‍ලේ අනුරාධපුරේ අක්කර 10ක් බද්දට අරගෙන වගා කළා. මිරිස්, එළවළු, වී වගේ දේවල් වගා කළා.

මගේ ලොකු දුව ලැබෙන්න ඉන්න කා‍ලේ නැවත පිළියන්දල පදිංචියට ආවා. මගේ ජීවිතේ නැවත විඳින්න කැමති කාලයක් තියෙනවා නම් ඒ අනුරාධපුරේ ගත කරපු කාලය කිව්වොත් හරි. ඒ තරම්ම සුන්දර සරල ජීවිතයක් පරිසරයත් එක්කම ජීවත් වුණ කාලයක් ඒක.

පස්සෙ දරුවො තුන්දෙනා ලැබුණා. ආර්ථික ප්‍රශ්නත් ටිකක් ඇතිවුණා. දුවලා දෙන්නෙක් ඉන්න කාලෙ පුතා ලැබෙන්න ඉන්නකොට ඒ දරුවත් දුවෙක් වෙයි කියලා යම් යම් පාර්ශ්ව සෑහෙන බලපෑමක් එල්ල කළා. ඒක අපේ සමාජෙ ගොඩක් අම්මලා මුහුණ දෙන ප්‍රශ්නයක්. මගේ පුතාගේ ඉපදීම මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් වුණා.

ව්‍යාපාරයකට යොමුවෙන්න අවශ්‍යයි කියලා හිතෙන්නේ ඇයි?

ගෙදර වැඩ දරුවො තුන් දෙනා ලොකුමහත් කරන වැඩ තනියම කරගත්තා. සැමියා ඔය කා‍ලේ බිම්මල් වගාවක් කරගෙන ගියා. පුතාට කෑම හදන කොට වැටහුණ දෙයක් තමයි පලාජාති වැඩිපුර දරුවන්ට දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ කියන දේ. පලා සුද්ද කරලා කපලා හදන එක තරමක විශාල වැඩක් වෙනවා. ගෙදරට ගේන එළවළු අතර තිබෙන පලා ජාති හදන්න වෙලාවක් නැතුව නරක් වෙලා විසි කෙරෙනවා. දරුවන්ගේ වැඩත් එක්ක මේක අමාරු වැඩක් වුණා. මගේ සීයගේ ඉඳලම හොඳ ගොවියෝ. අපේ ගෙදරට කෑමට ගත්තේ වත්තේ කුඹුරේ වවපු අස්වැන්න. අපේ දරුවන්ට ඇයි මේ දේ දෙන්න බැරි කියන දේ හැමදාම මගේ හිතේ තිබුණා.

පලා වර්ග පිසින එක මට ප්‍රශ්නයක් නම් සමාජයේ අනෙක් කාන්තාවන්ටත් ඒ ප්‍රශ්නෙම ඇති කියලා හිතලා පලාවර්ග ඉක්මනට මැල්ලුමක් හදාගන්න පුළුවන් විදිහට වෙළෙඳ‍පොළට නිකුත් කරන්න මට ඕන වුණා. එතනින් තමයි මම ව්‍යාපාරික ලෝකයට එන්නෙ.

නව ව්‍යාපාරය ආරම්භ කෙරෙන්නේ කොහොමද?

මට මතක විදිහට අතේ රුපියල් 5000ක් වත් තියාගෙන ‍නෙවෙයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඔය කා‍ලේ බිම්මල් ව්‍යාපාරයට සහාය දීපු පිරිසක් අපිට හිටියා. සුපර් මාර්කට් කිහිපයකට අපි බිම්මල් පැකට් දැම්මා. ඔය කා‍ලේ ලංකාවේ ආහාර තාක්ෂණය පිළිබඳව තිබෙන හැම ආයතනයකටම ගියා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගන්න. ඒත් හැමෝම කිව්වෙ මේ දේ කරන්න බැහැ. කවුරුවත් මේක කරලත් නැහැ කියන එකයි. ලංකාවේ වත් ලෝකෙවත් කිසි කෙනෙක් පලාවර්ග මේ විදිහට ක්ෂණිකව සකස් කර ගත හැකි ව්‍යාපාරයක් කරලා තිබුණේ නැහැ. මමයි සැමියයි කතා කරලා පරීක්ෂණ කරලා තමයි කපපු පලා ඇසුරුම ලංකාවෙ වෙළෙඳ‍පොළට නිකුත් කළේ.

කපපු පලා වවන තැන ඉඳලා වෙළෙඳ‍පොළට නිකුත් කෙරෙන තුරු වෙන ක්‍රියාදාමය මොකක්ද?

මුලින්ම අපි පලාවර්ග සල්ලිදීලා අරගෙන සුද්ද කරලා සෝදලා කපලා වෙළෙඳ‍පොළට නිකුත් කළේ. ටිකක් කල් යනකොට පලාවර්ගවලට යොදන ‍පොහොර කෘමිනාශක වගේ දේවල්වල අහිතකර තත්ත්වය පිළිබඳව තේරුණා. වස රසායනික ද්‍රව්‍ය යොදලා දවස් දෙක තුනක් ඇතුළත පලා කපලා දෙනවා. මේ තත්ත්වය සමාජයටම බරපතළ පිළිලයක්. ඔය තත්ත්වය නිසා කෘෂි රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව පලාවර්ග ගොවිපලක් ආරම්භ කිරීමට අපි තීරණය කළා.

Organic farm සංකල්පය මුලින්ම ඇති කරන කා‍ලේ මොන වගේ අභියෝගවලට ද මුහුණ දුන්නේ?

ලොකුම අභියෝගය තමයි සහතික කළ පඨචදඪජ ටචපථ එකක් කරන්නේ කොහොමද කියන දේ. 2003 දී 2004 දී වගේ ලංකාවෙ රජයේ මැදිහත්වීම මත පඨචදඪජ ටචපථ එකක් සහතික කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ.

එතකොට නෙදර්ලන්තයේ සහතික කරන ආයතනයක සහාය ගන්න අපිට සිදුවුණා. අක්කර දෙකක් වවන්න සහතිකය ගන්නම ලොකු ගාණක් වියදම් කරන්න වුණා. අපේ නිෂ්පාදනවලට කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ කල් තබාගැනීම සඳහා දෙයක් යොදාගන්නේ නැහැ.

Three Star Organic farm කියලා නම යොදාගත්තේ ඇයි?

දරුවො තුන් දෙනා ගැන හිතලා තමයි Three Star කියන නම යොදා ගත්තේ. කපපු පලාවර්ග මුලින්ම හඳුන්වා දුන්නේ සුපර් මාර්කට්වලටයි. අපේම ගෙදර කොටසක මුලින්ම පලාවර්ග සකස් කිරීම සිදුකළා. බැංකු ණයක් අරගෙන ISO සහතිකය ගන්න පුළුවන් විදිහට කර්මාන්තශාලාව පටන් ගත්තා. ලංකාවේ පළමුවැනියටම Good manufacturing සහතිකය ලැබුණේ අපේ කර්මාන්ත ශාලාවටයි.

ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වුණු විදිහ ගැන කිව්වොත්?

දැන් මේ වෙනකොට ලංකාවේ සුපර් මාර්කට් සහ හෝටල්වලට අපේ පලා නිෂ්පාදන යොමුකෙරෙනවා. දවසකට අපේ කර්මාන්තශාලාවෙන් කපපු පලා වර්ග පැකට් 2000ක් විතර වෙළෙඳ‍පොළට නිකුත් කරනු ලබනවා. මේ වෙනකොට අපි ව්‍යාපාරය තවත් පුළුල් කරමින් පලාවර්ග අපනයනය කිරීම ආරම්භ කරලා තියෙනවා. කැනඩාව, ඔස්ට්‍රේලියාව, මාලදිවයින වගේ රටවල අපේ පලාවර්ගවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

Three Star ව්‍යාපාරය රන්බත් පුද්ගලික සමාගම දක්වා පුළුල් වෙන්නේ කොහොමද?

2012 වසරෙදි ලංකාවෙ පළවෙනි කාබනික නිර්මාංශ අවන්හල පටන්ගත්තා. බත්තරමුල්‍ලේ දියත උයනෙදි. ඊට නම යෙදුවෙ රන්බත් කියලයි. අපේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙන බෝ නොවන රෝග රැසකට හේතුව වෙලා තියෙන්නෙ රසායනික ද්‍රව්‍ය යෙදූ එළවළු සහ රසකාරක යොදා ඒවා පිළියෙල කිරීමයි. රන් බත් අවල්හ‍ලේ රසකාරක යොදන්නේ නැතුව අපේ අම්මලා, ආච්චිලා හදපු විදිහට ලංකාවට ආවේණික රසට ලංකාවේ දේශීය කුළුබඩු යොදලා ආහාර සකස් කරලා දෙනවා. බත්වලට කළු හීනටි, පච්ච පෙරුමාල් වගේ පාරම්පරික හාල් වර්ග අපි යොදාගන්නවා. තෙල්, මිරිස්, සීනි අඩුවෙන්. ඒත් රසට පාරිභෝගිකයින් පිනවීම අපේ අරමුණයි. පිටරටවල තියෙන හැම කෑමක්ම අපේ රටේ හැම තැනම තියෙනවා. ඒත් සිංහල කෑමක් කන්න මතක් වුණොත් තැනක් හරියට නැහැ. ඒ හිඩැස පුරවන්නයි මට ඕන වුණේ.

මෙතනින් ඉදිරියට ව්‍යාපාරික සැලසුම් මොනවද?

ගිය මාසේ තුම්මුල්‍ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ රන්බත් කාබනික නිර්මාංශ අවන්හල අපි පටන්ගත්තා. නිදහස් මනසකින් යුතුව නිර්මාංශ දේශීය ආහාර අපි පාරිභෝගිකයාට ලබාදෙනවා. මැටි පිඟානක නෙළුම් කො‍ලේක බත් ටිකක් කන්න, ‍පොල් කටුවක දේශීය බිමක් බොන්න මෙහිදී පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙනවා. යම් සමාජ ස්ථරයක ඉන්න පිරිසකට දේශීය රටාවට සහ තමන්ගේ අසනීප ගැන දන්න ඒවට බෙහෙත් ආහාර සොයන අයට ඊට සරිලන ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණ වුණා. ඊට අමතරව දැන් රන්බත් ව්‍යාපාරය Eco Friendly catering service එකක් හඳුන්වා දුන්නා. සිංහලකමට දේශීය ආහාර වළං මුට්ටිවල නෙළුම් කොළේ ඕනම උත්සව අවස්ථාවකට අපි දෙනවා. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ උත්සව සඳහාත් අප catering කරනවා.

කාන්තාවක් විදිහට මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හරිම සතුටුයි. අද මගේ ලොකු දුව කළමනාකරණ උපාධියක් හදාරලා පශ්චාත් උපාධියට සූදානම් වෙනවා.ඒ ගමන්ම මගේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක්. දවෛනි දුව නීති විද්‍යාලයේ අවසාන වසරේ. පුතා හෝටල් කළමනාකාර උපාධිය හදාරනවා.

ඒ අයට පුංචි කා‍ලේ ඉඳලා මම මගේ යුතුකම් හරියටම ඉටුකළා. ව්‍යාපාරය ගොඩනගන ගමන්ම දරුවො තුන්දෙනාගේ වැඩත් අතපසු නොවී කළා.

මේ ආපු ගමනේ මට නැගිටින්න අත දීපු අය අතේ ඇඟිලි පහ වගේ අඩු පිරිසක්. හුඟක් අය කාන්තාවක් නැගී සිටිනවට කැමති නැහැ. ඒත් මම ඒ අභියෝග ජයගත්තා. හොඳ සාර්ථක ව්‍යාපාරයක් සහ හොඳ දරුවො තුන්දෙනෙක් මම සමාජයට දායාද කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්.
නෙරංජලා වික‍්‍රමසිංහ
neranjalatw@gmail.com

– rivira.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *