‘අම්මා’ චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිංහල කතානාද සිනමාවේ හය වන චිත්‍රපටයයි.

ද‌ාරක ​ප්‍රේමයත් පතිවෘතා ධර්මයත් උදෙසා සිඟන්නියක් මෙන්ද ක්‍රියා කොට අවසානයේ දී ජීවිතය ද පූජා කිරීමෙන් සමස්ත ස්ත්‍රී වර්ගයාගේ ගෞරවය රැක දුන් ‘අම්මා’ චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිංහල කතානාද සිනමාවේ හය වන චිත්‍රපටයයි.

චිත්‍රපටය ආරම්භ වන්නේ සරණපාල නම් ලිපිකරුවාගේ බිරිඳ නීලා එක්තරා සන්ධ්‍යා සමයෙක සිය සිඟිති දියණිය වූ ස්වර්ණ ගීතයක් ගයමින් නිදිගත් වමින් සිටින ජවනිකාවකිනි. පවුලේ හිතවතෙකු සහ මෙහෙකරුවකු වූ ජෙමා ද බලා සිටී.

 

නීලා (පර්ල් වාසුදේවි)

සරණපාල (ඩී.ආර්) සමඟ නීලා (පර්ල්)

සරණපාල ලෙස ඩී.ආර්

හෘද විමානේ – මිණි පහනක් සේ ……..

පාලන මා දෝනි
පාලන මා දෝනි – පාලන මා දෝනී
නිද්‍රාදේවී – ගේ කුරුල්ලේ කිංකිණි
නාදෙන් ඔබ සැතපී
නීලා:- ජෙමයියා
ජෙමා:- එනවා නෝනා

නීලා – අනේ ජෙමයියෙ බලන්ඩ, මහත්මයා එන වෙලාව, කකුල සෝදවන්ඩ ඕන. කරුණාකරල කෙල්ලට කියන්ඩ වතුර බේසමක් තියන්ඩ කියල. ළමයා නිදි කරවලා මම ඉක්මනට එඤ්ඤං   ජෙමා – හොඳමයි නෝන, මැගෝ, බොල මැගෝ ඇල් වතුර බේසමක්

නීලා යළිත් දරුවා නළවයි
නිද්‍ර දේවීගේ තුරුල්ලේ කිංකිණි නාදෙන්
ඔබ සැතපී
චූටි දෙතොල් විදහා පියුමක් සේ/ චූටි/චූටි
චූටි දෙතොල් චූටි දෙතොල් චූටි දෙතොල්
විදහා පියුමක් සේ
සුරකැල හා සිනාසී
නන්දන උයනේ පෙම් මල් අකුලේ
නටන්න මා පිය දෝනී
පතිත පාවන ජීවන ස්වාමි/රකිවා මා දෝනි

ළදැරිය නිදි ගන්වමින් සිටි නීලා වෙත හදිසියේම එන සැම්සන් නම් කාමුක පුරුෂයෙක් සිය කාමුක අදහස් ඉටුකර ගැනීමට බලවත් පරිශ්‍රමයක් දරයි. සැම්සන් නීලා විවාහ වීමට පෙර ඇයට ආලය කළේය. ස්වභාවයෙන්ම දුෂ්ට ගති ඇත්තෙකු වූ සැම්සන්ට නීලා පෙරළා ආලය නොකළාය. සැම්සන් නීලාට අතවර කිරීමට සැරසෙද්දී, රැකියාව සඳහා පිටත ගොස් සිය නිවෙස කරා එන සරණපාලට අතර මඟදී සතුරන් විසින් පහර දෙනු ලබන බැව් ලැබුණු ආරංචියෙන් කම්පනයට පත් වූ නීලා සිහිනැතිව බිමට පතිතවන්නට යන බව දැක තම අදහස් මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව යයි සිතූ සැම්සන් ඇය බිම පතිත වීමට නොදී අල්වාගෙන මුව සිඹීමට තැත් කරයි. තුවාල සිහිතව ජෙමයියාගේ ආධාර ඇතුව ගෙදර එන සරණපාල එක එල්ලේම මේ භයංකර පිළිකුල් සහිත දර්ශනය දකී.

සරණපාල කිසිම වග විභාගයක් නොකොට නොයෙකුත් පරිභව කොට නීලා සිය නිවසින් නෙරපීය. නිර්දෝෂී වූ ඈ මෙවෙලෙහි ඇගේ නිර්දෝෂිතාව කියා පෑමට නොවෙහෙසී සිය සැමියාගේ හිත වැඩ පතා වෙන්වීමට කැමති වුවත් මාතෘ සෙනෙහසෙන් ළය දෙදරන්නී ස්වර්ණා නම් පොඩිදුව ගෙන ගියාය. දියණිය සිය සැමියාගෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බිම වැටීමෙන් වූ තුවාල වලට ප්‍රතිකාර පිණිස යම් කිසි මුදලක් සොයා ගත නොහැකිව දරුණු සිත් වේදනාවෙන්. පෙළෙන නීලාට කුඩා තිලක හමුවෙයි. මව හා බිලිඳ‌ා කැටුව ආරෝග්‍ය ශාලාවට ගොස් ළපටි ස්වර්ණා ප්‍රතිකාර පිණිස ආරෝග්‍ය ශාලාවට භාර දී නීලාට රක්ෂාවක් ලබාදෙන අටියෙන් තිලක ඇය තම පියා රක්ෂාව කරන සැම්සන්ගේ බංගලාවට කැඳවා ගෙන යයි.

වරක් සිය මුග්ධ අදහස් මුදුන් පමුණුවා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් නීලා – සරණපාල සහ ස්වර්ණ යන තුන් දෙනාගේ ජීවිත අඳුරු වූ බව මොහොතකටවත් කල්පනා නොකළ අධම සැම්සන් ඉන් නොනැවතී යළිත් තම නිවස වෙත තිලක කැටුව පැමිණි නීලා වසඟ කර ගන්ට යාමෙන් සිදු වූයේ කුමක්ද? වඩාත් දරුණු ප්‍රතිඵලයකි. තිලකගේ අහිංසක පියා වූද සැම්සන්ගේ කීකරු මෙහෙකරුවකු වූද ජුවානිස්.
නීලාගෙන් මැරුම් කෑමත් නීලාට පහළොස් අවුරුද්දක් බන්ධනාගාරව විසීමට සිදුවීමකය.

මේ කාලය තුළ අනාථ වූ තිලකට හදිසියේ සරණපාල හමු වී ඔවුනොවුන් යළි ආශ්‍රය පටන් ගෙන යම් යම් දේ කොට උපයා ගන්නා ලද මුදලින් තරමක් හොඳ ජීවිත කාලයක් ගත කරන නමුත් වරක් සැම්සන්ගේ මෙහෙයවීමෙන් සරණපාලගේ මුළු වස්තුව තමා සතු කර ගෙන ඔහු කාලකන්නියකු කළ වයලා බැලීමට ද සරණපාල ඉඳ හිට ගියේය.

සරණපාල සෙවීමට ඉඳ හිට එහි යන තිලකත් ආරෝග්‍ය ශාලාවෙන් වයලා විසින් භාර ගන්නා ලදුව එහිම ඇති දැඩි වන ස්වර්ණාත් අතර මේ අතරතුර සමීප සම්බන්ධයක් ඇති විය. වයලා නීත්‍යනුකූලව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇතත් සෑම්සන්ගේ ගිජු බැල්මට නිතරම ඉලක්කය වනුයේ එහිම ඇති දැඩිවන ස්වර්ණාය. ඒ බව ස්වර්ණා ද හොඳින් දනිතත් ඈ ඔහුට මුළු හිතින්ම පිළිකුල් කළාය.

අවුරුදු පහළොවකට පසු සිරිගෙයින් නිදහස් වූ නීලා කෙළින්ම ගියේ සිය දියණියක දැක ගැනීමටය. වයලාගේ නිවසෙහි ඈ ඇති දැඩි වන බැව් අසා ප්‍රීතිව එහි ගිය නීලා සිය දියණිය ඉන් ගලවා ගැනීමට දැරූ වෑයම නිෂ්ඵල විය. සුන් වූ බලාපොරොත්තු ඇතිව එතනින් නික්මුණ අම්මා (නීලා) හදපත්ලෙන් නැගෙන දාරක ප්‍රේමය උදෙසා සිය ස්වාමියා උදෙසා සමස්ත ස්ත්‍රී වර්ගයා උදෙසා – සකළ ලෝකවාසීන් ඉදිරියෙහි අමරණීය නාමයක් ඇති කරමින් සැම්සන් සමඟ උග්‍ර සටනක යෙදී අවසානයේදී ඒ හිත් පිත් නැති දුෂ්ටයාගේ තියුණු වෙඩි උණ්ඩයට ලක් වූවාය.

අවසාන ගමන් ගිය නීලා එනම් තම බිරිඳ ගැන සරණපාල තිලකට හා ස්වර්ණාට කියන මේ දෙබසින් ‘අම්මා’ චිත්‍රපට අවසන් වෙයි.

‘මතක නැති කරන්න එපා. සිතේ තබා ගනිල්ලා, මේ නුඹලාගේ රටට අම්මා, ජාතියට අම්මා, ආගමට අම්මා, අම්මාවරුන්ට අම්මා, මට අම්මා, නුඹලාට අම්මා, ලෝ වැසි සියලු සත්වයනට ආදර්ශ වූ ශ්‍රේෂ්ඨ අම්මා’’
අවමඟුලට සාහය වූ සියල්ලෝම ‘අම්මා අම්මා’’ යනුවෙන් කීහ. චිත්‍රපටය අවසන් වන්නේ අම්මා සුදෝ සුදු වලාකුළු අතරින් දිව්‍ය ලෝකයට යන දර්ශනයකිනි.

‘1930 සහ 1940 දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නාට්‍ය කර්තෘවරයකුව සිටි තංගල්ලේ සිරිසේන විමලවීර විසින් 1943 දී වේදිකා ගත කළ නාට්‍ය අතුරින් එකක් වූ ‘අම්මා’’ නාට්‍යය 1948 වසරේ සිනමාවට නැගිණ. විමලවීර තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ මුල්ම අධ්‍යක්ෂවරයාය. ඊට කළින් (1947) ‘අශෝක මාලා’’ චිත්‍රපටයේ දී ශාන්ති කුමාර් සෙනෙවිරත්න සම අධ්‍යක්ෂවරයා විය.

‘අම්මා’’ චිත්‍රපටයේ ‘අම්මා’ නොහොත් නීලා ලෙස පර්ල් වාසුදේවිද, සරණපාල ලෙස ඩී.ආර්. නානායක්කාරද සැම්සන් ලෙස එච්.එස්. ජෝතිපාල ද ලොකු තිලක ලෙස එඩී ජූනියර්ද ප්‍රධාන චරිත රඟපා ඇත.
සෙසු චරිත එන්.ආර්. ඩයස් (ජුවානිස්) මියුරින් සිල්වා (ස්වර්ණා) මියුරින් නිශ්ශංක (වයලා) ඊ. මාෂල් පෙරේරා (රොමා) ආර්.ඒ. නිකලස් පෙරේරා (ජෙමයියා) කාමන් වැන්වොඩ් (ජුලියට්) සුමනා රණසිංහ (සොපිහාමි) එම්.ඩී.ඊ ජයසුන්දර (පොලිස් නිලධාරියා) රඟපෑහ.

ළමා චරිත උපසේන විමලවීර (පොඩි තිලක), රංජනී විමලවීර (කුඩා ළදරු ස්වර්ණා) චිත්‍රා විමලවීර (ස්වර්ණාගේ බාල කාලය) රඟපා ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘සිරිසේන විමලවීර​ෙග් නාට්‍ය 6 ක්’’ කෘතිය හා O.C.I.C චිත්‍රපට වාර්ෂිකයේ (1947-1951) කරුණු සපයා ඇති සිරි අබේසේකර, ගාමිණී ගුණතිලකගේ දත්ත හා ‘‘ඉරිදා ලංකාදීප’ ‘ලංකාදීප’ පත්‍රවල තොරතුරු මූලාශ්‍ර මෙහිදී අපට මේ ලිපිය ලිවීමේ දී උපකාර විය. ආතර් යූ. අමරසේනගේ සිංහලයේ මහා සිනමා වංශය’ කෘතිය ද මහෝපකාරි විය.

1948 නොවැම්බර් 19 වෙනිදා නැප්චූන් චිත්‍රාගාරයේ නිපද වූ ‘අම්මා’ චිත්‍රපටය සඳහා මාස 08 ක් පමණ ගත වී ඇත. එහි වියදම රු 68,000ක් වූ අතර ලැබූ ආද‌ායම රුපියල් ලක්ෂ 05 කි. සිරිසේන විමලවීරගේ ‘නවජීවන’ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වූ එහි කථාව, දෙබස්, ගීත ප්‍රබන්ධය හා අධ්‍යක්ෂණය ඔහුගේය. තිර රචනය හා කාර්මික අධ්‍යක්ෂණය ක්‍රිෂ්ණා හෝ ෂන්මුගද‌ාසන්ගේ බව ඩී.ඩී. සෙනෙවිරත්න පවසා ඇත. (ඉරිදා ලංකාදීප) කැමරා ශිල්පියා පෝල් මතායස්ය. සී.එන්. පාණ්ඩුරංගත් සංගීත අධ්‍යක්ෂවරයාය.

පසු කලෙක සිංහල සිනමාවේ අති දක්ෂ චරිතාංග නළුවකු වූ ඩී.ආර්. නානායක්කාර ‘අම්මා’ වේදිකා නාට්‍යයට තෝරා ගත් යැයි ඔහු මට විස්තර කර තිබුණේ මෙසේය.

‘එදා මගේ පඩි දවස. අලුත් ෂර්ට් එකක් සරමක් එහෙම ඇඳ ගෙන මම මරද‌ානේ ඔලිම්පියා සිනමා ශාලාව අසළින් යන කොට විමලවීර මාස්ටර් මාව දැක්කා. ඔහු රඟ පෑ නාට්‍යය මං දැක ඇති නිසා එතුමා දැකීමත් මට ප්‍රීතියක් වුණා. මම ඔහු දෙස හැරී බැලුවාම ඔහු මට ‘එන්න’ යන්න අභිනයෙන් කතා කළා. මම ගියා.

‘ළමයා, උඹ නම් වේදිකාවට හොඳ බව පේනවා. උඹ කැමති ද රඟපාන්න’’

ඒ 1944 වසරේ. මම කඩවසම් තරුණයා. ඒ කාලයේ මගේ ප්‍රථම ප්‍රේමයෙන් පැරදිලා හිටිය නිසා මම කැමති වුණා. ‘අම්මා’ නාට්‍යයට සිනමාවට නැඟුණාම ඒ චරිතය මම රඟපෑවා. එක වෙනසක් තිබුණා. නාට්‍යයේ රඟපෑ අපි හැම නළු නිළියෝම ‘අම්මා’ චිත්‍රපටයේ නොමිලයේ රඟපෑවේ.

ඩී.ආර්. නානායක්කාර එද‌ා ‘අම්මා’ චිත්‍රපටයේ තමා ලැබූ අත්දැකීමක් අපට විස්තර කළේය.

‘මට අද වගේ මතකයි ‘අම්මා’ චිත්‍රපටයේ මුලින්ම කැමරාවට මුහුණ දුන්න අවස්ථාව. එය කොතරම් ප්‍රීතියක්ද එච්.එස්. ජෝතිපාල සමග ගුටි බැට හුවමාරු වන දර්ශනයක් එදා චිත්‍රපට ගත කරන්න තිබුණේ. මම පුටු පෙරළෙමින්, බඩු මුට්ටු පෙරළා ගෙන, වැටෙමින්, නැගිටිමින්, හැප්පෙමින් තොරතෝංචියක් නැතිව ‘දඩිබිඩි’ ගා පහර දී ගත්තා. කැඩුණු පුටු අත් වලින්ද ඒ මේ අත වැදුණා. කාර්මික අධ්‍යක්ෂවරයා ‘කට්’ යන වචනයෙන් පසුද අපි ඔහේ ගහ ගත්තා.

අන්තිමේදී මම හති ඇර ගැනීමට නැගී සිටියා. මගේ සපත්තුව ඇතුළත සීතල ගතියක් දැනුණා.ඒ තුළට වතුර කොයින්ද? මගේ ඔළුව පැලී ඇති බවත් දැනුණා. අත ගෑ කළ එහි තිබුණේ ලේ. චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂ ෂන්මුගද‌ාසන් මෙහෙම කිව්වා.

‘මේ ගොල්ල ඇවිත් ඉන්නේ රඟපාන්න නම් නෙවෙයි. මරාගෙන මැරෙන්න හිතාගෙන. චිත්‍රපටියක රඟපාන්න ගිහින් මෙහෙම හැබෑවටම ඔළු පලා ගන්න ඕනෑද?’’ ඔහු සමච්චල් කර අපිව ආරෝග්‍ය ශාලාවකට යැව්වා’’ ඩී.ආර්. නානායක්කා කීවේය.

‘අම්මා’ චිත්‍රපටයේ රඟපෑ තවත් දුෂ්කරම අවස්ථාවක් නීලා ලෙස රඟපෑ පර්ල් වාසුදේව මෙසේ මට විස්තර කර තිබුණි.

‘මේ චිත්‍රපටයේ එක දර්ශනයක අස් රියක එල්ලී ඇදී යෑමට මම තිබුණා. රියේ එල්ලුණු මම කුලප්පු වුණු අසුගේ වේගවත්. පිම්මෙන් ඉදිරියට ඇදී ගියා. මම අත හැරියේම නැහැ. මගේ දණිස් දෙපා මුහුණ මට්ටම් නොවී බේරුණේ භාග්‍යයකට. ලේ පෙරෙන අත් පා මුහුණ ඇතුව මම එහෙමම හිටියා. අර ඉන්දියානු කාර්මිකයා ඩී.ආර්. ට කිව්ව දේ මටත් කීවා. වරක් මම තරප්පු පේළියක මුදුනේ සිට පඩි පෙළ දිගේ බිමට පෙරළී පෙරළී වැටෙන දර්ශනයක් රඟපෑවා. කැමරා ශිල්පියා කැමරාව ක්‍රියා විරහිත කොට මාව බේරා ගන්න එතැනට පැන්නා.

‘මේ ගොල්ල ඇවිත් ඉන්නෙම මැරෙන්න’’ කැමරා ශිල්පියා කාට දෝ කියනු මට ඇසුණා.

චිත්‍රපටයේ සිත් කම්පා කරවන දර්ශනය නම් මා අතින් බිලිඳු දරුවකු උදුරද්දී ඒ සිඟිත්තා උඩුමහල්තලෙන් බිමට වැටෙන අවස්ථාවයි. මට මේ සිඟිත්තා බිමට හෙළීමට හදා ගත හැකි ද? මේ බිලිඳා වැටෙන්නෙ පහළ බැඳ ඇති දැලකට තමා. එහෙත්….

මට රඟපෑමට දුෂ්කර වූ එකම දර්ශනය එයයි. එක ‘ටේක්‘ එකෙන් මට මේ දර්ශනය කර ගන්න බැරිව ගියා.

දෙවන වරත් එසේම සිදු වුණා. දරුවා (ඇය විමලවීර මාස්ටර්ගේ කුඩා දියණිය රංජිනි) කෑ ගසා ඇඩු හැටි මට දරා සිටිය හැකි ද? එහෙත් මට එය කිරීමට සිදු වුණා දරුවා නිරුපද්‍රිතව පහළ තිබූ දැලට වැටුණේ බබා වගේ. පර්ල් එසේ කියා සිටියාය.

‘අම්මා’ චිත්‍රපටයට විශේෂ ප්‍රචාරයක් හා අනුග්‍රහයක් ඉරිද‌ා ලංකාදීප පත්‍රයේ කර්තෘ ඩි.බී. ධනපාල මහතා හැම විටම ලබා දී ඇත. ‘ළඟ එන සිංහල චිත්‍රපටිය’ නමින් 1949 අප්‍රේල් 30 වෙනිදා ඉරිදා ලංකාදීපයේ පළ කොට තිබූ ප්‍රවෘත්තියෙන් ‘අම්මා‘ චිත්‍රපටයේ රඟ පෑ මියුරින් නිශ්ශංක මෙනෙවිය හා මියුරින් සිල්වා මෙනෙවියගේද, පර්ල් වාසුදේවි නෝනා මහත්මියගේ ඡායාරූප සහිත විස්තරයක් පළ වී තිබුණි. එහි මෙසේද සඳහන් විය.
‘දැනට මදුරාසියේ නැප්චූන් චිත්‍රපටි සම්පාදක ස්ථානයේ චිත්‍රපටියට ගනු ලබන ‘අම්මා’ නම් චිත්‍රපටය, නාට්‍යයක් වශයෙන් ගන්නා චිත්‍රපටියක් මෙන් නොව සම්පූර්ණ වශයෙන් චිත්‍ර නෘත්‍ය කලාව අනුව පිළියෙල කරනු ලබන්නකි. ලංකා නවජීවන චිත්‍රපටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තැන්පත් සුප්‍රසිද්ධ නාටක කර්තෘවර තංගල්ලේ සිරිසේන විමලවීරගේ බලවත් උත්සාහයෙන් ගනු ලබන මෙම කථාන්තරයට අප රට ස්වභාවික දර්ශන කිපයක් ඇතුළත් කර තිබීම එහි අලංකාරය අධික වීමට හේතු වෙනවා ඇත. මෙම චිත්‍රපටයට රැගුම් දක්වන්නේ විමලවීර මහතාගේ පුහුණුව ලැබූ නළු නාටිකාවෝය.

ස්වකීය සැමියා ඇති කරගත් අස්ථාන සැකයකින් ගෙදරින් පිට වී යන්නට සිදු වූ නීලා (පර්ල් වාසුදේවි මහත්මිය) සොල්දර තට්ටුවට නගින ගරාදි වැටක් කඩාගෙන බිම වැටුණ ආකාරය දැක්වෙන ජවනිකාව ඈ රඟ දැක් වූ ආකාරය එය බලා සිටි බොහෝ දෙනාගේ සිත් තැති ගැනීමට හේතු වූ බව කියා තිබේ.

‘අම්මා’ චිත්‍රපටයේ ගීත 10 ඇතුළත්ව තිබුණි. චිත්‍රපටයේම රඟ පෑ නළු නිළියෝම ගීත ගයා ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කර ඇත්තේ (සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956) ‘අම්මා’ චිත්‍රපටයේ එකම ගීතයක්වත් ජනප්‍රිය නොවූ බවය. ‘අම්මා’ චිත්‍රපටයට පාදක වූ ‘අම්මා’ නාටකය නිසා ‘ගාල කඩාගෙන’ හා ‘මාර්ග පලෙන්‘ ගීත ජනප්‍රිය වූ බවය. ගී තනු සියල්ල වෙනත් චිත්‍රපටවලින් උපුටා ගත් ඒවා බවය.

මේ ගීත 10 මෙසේය

1. හර්ද විමානේ මිණි පහනක් සේ (පර්ල් වාසුදේවි)
2. දවසක් දා එක ගමයෙක් (උපසේන විමලවීර)
3. ජීවන යාත්‍රා (පර්ල් වාසුදේවි)
4. කාම දෙයියාගේ රූපෙ (ඩී.ආර්. නානායක්කාර සහ මියුලින් නිශ්ශංක)
5. පායා වලා ගැබ (උපසේන විමලවීර හා රංජනී විමලවීර)
(එඩී ජූනියර් හා මියුලින් සිල්වා)
6. මං පනිනව කැලණි ගඟේ (මාෂල් පෙරේරා හා කාමන් වැන්ඩොට්)
7. ගාල කඩාගෙන හරක දුවනවා (ඇන්.ආර්. ඩයස්)
8. භව පාර දුරයි (එඩී ජූනියර්)
9. මාර්ග ඵලෙන් (ඩී.ආර්. නානායක්කාර)
10. කරදර බාරියේ (නිකලස් පෙරේරා හා සුමනා රණසිංහ)

ලංකාදීප පත්‍රයේ උප කර්තෘවරයකුව සිටි සිනමා ඉතිහාසඥ ඩී.වී. සෙනෙවිරත්නයන් හා සිරිසේන විමලවීරයන් අතර තිබී ඇත්තේ සමීප හා දැඩි මිත්‍රත්වයකි. සෙනෙවිරත්නයන් විමලවීරයන් ලියූ ලිපියකින් ‘අම්මා’ චිත්‍රපටය ගැන අගනා තොරතුරු රැසක් ඔහු විසින්ම සංස්කරණය කළ ‘චින්තාමනී‘ සිනමා සඟරාවේ පළ කර ඇත.

සිංහල චිත්‍රපටියක් නිපදවන්න සිංහල කර්මාන්තයක් බිහි කරන්නට සිංහලයන්ගෙන් ආධාර මුදල් ඉල්ලා’ දේශීය මුහුණුවරින් යුත් ජාතික සිරිත් විරිත් සංස්කෘතිය මවාපාන චිත්‍රපටයක් නිපදවීමට සිංහලයන් ඉදිරිපත් විය යුතුයි. යන මතය විමලවීරයන් මේ සඟරාවෙන් දක්වා තිබේ. මෙයට යහපත් ප්‍රතිචාර ලෙස දහස් ගණන් ලිපි ලැබුණු බව සෙනෙවිරත්න පවසා තිබුණි.

විමලවීරයන් තම සතු මුද්‍රණාලයත් (විමල මුද්‍රණලය) පැරණි කාර් එකත් විකුණා ‘නවජීවන’ චිත්‍රපට සමාගම පිහිටුවා තම නළු නිළියන් සමඟ ගමින් ගමට ගොස් කතා පැවැත් වූ බවද, ඔහුගේ ගමන් බිමන්වලටත් පෙනී සිට ආධාර කළ ඩී. ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි, එච්.ඇස්. ජෝතිපාල මසල වඩේ කමින් ප්ලේන් ටී බොමින් උපකාර කර ඇත. මෙසේ ඔහු රුපියල් 65,000 ක් සොයා ගත්තේ ලංකා බැංකුවට තම සමාගමට ලැබුණු ජනතාවගේ ලබාගත් කොටස් මුදල් ඇපයට තබාය.

1949 අ​ෙගා්ස්තු 19 වැනිදා මරද‌ානේ සෙන්ට්‍රල් සිනමා ශාලාව ආරම්භ කොට ප්‍රථම චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කර ඇත්තේ ‘අම්මා’ චිත්‍රපටයය. මංගල දර්ශනයේ ප්‍රධාන අමුත්තා වී ඇත්තේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් අධිපති ජබීර් ඒ. කාදර්ය. සෙන්ට්‍රල් සිනමා හලෙන් එම සමාගමට පිට පළාත්වල තිබූ සිනමා ශාලා 3 කත් අම්මා ප්‍රදර්ශනය කිරීමෙන්  රුපියල් ලක්ෂ 08 ක් උපයා ගත්ත ද ඉන් විමලවීර මාස්ටර්ට ලැබුණේ සියයට 65 ක මුදලකි.

තමාට ලැබුණු මුදලින් ඔහු කුඩාරම් තුනක් මිලයට ගෙන සංචාරක සිනමා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රොජෙක්ටර් ද මිලට ගෙන ඇත. ඉන් ලැබුණු රු: 15,000 කින් කිරිබත්ගොඩ හන්දියෙන් අක්කර දෙකක ඉඩමක් මිලදී ගෙන නවජීවන චිත්‍රාගාරය ආරම්භ කිරීමට පදනම දැම්මේය.

ඩී.වී. සෙනෙවිරත්න මේ තොරතුරු අනාවරණය කරමින් පවසා ඇත්තේ සිරිසේන විමලවීරයන් තුළ තිබූ අප්‍රතිහත ධෛර්ය අගය කරමිනි. එද‌ා පුවත්පත් දැන්වීමක ‘අම්මා’ චිත්‍රපටයේ ප්‍රචාරක පණිවිඩය සටහන් වූයේ මෙසේය.

‘ද‌ාරක ප්‍රේමයත් පතිවෘතා ධර්මයන් උදෙසා සිඟන්නියක් මෙන්ම අභීත වීරවරියක් මෙන්ද ක්‍රියා කොට අවසානයේ දී ජීවිතය ද පූජා කිරීමෙන් සමස්ත ස්ත්‍රී වර්ගයාගේ ගෞරවය රැක දුන් ‘අම්මා’ වයලා අතින් සැම්සන් මැරුම් කන හැටි ස්වර්ණාගේ විවාහය සරණපාල මහතාගේ ඉරණම ‘හලෝ මිස්ටර් දෙයියනේ’ ආදී විකට ස්වරයෙන් මුළු නෘත්‍ය සභා ගර්භය දෙවනත් කරමින් හිනස්සන ‘නොයිහාමිගේ’ පුත් ‘රොමාගේ’ විකට ජවනිකා බැලීමට කන්කළු මිහිරි ගී ඇසීමට රජතමය චිත්‍ර වස්ත්‍රය නරඹන්න.

‘අම්මා’ චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැත. සිරිසේන විමලවීරයන්ගේ බාල පුතු වූ උපසේන විමලවීර මේ චිත්‍රපටයේ කුඩා තිලක සේ රඟපෑවේය. චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු වූ ඔහු ‘වීදුරු ගෙවල්’ චිත්‍රපටය නිෂ්පාදනය කළේය. ඔහුගේ බිරිඳ චිත්‍රපට නිළි කුමාරි මානෙල් මෑත දී මිය ගියාය. චිත්‍රපට අධ්‍යක්ෂ දයා විමලවීරගේ සහෝදරයා උපසේනයන්ය.

උපුටාගැනීම ලංකාදීප
ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත්

– mirrorarts.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *