ක්‍රිකට් ක්‍රීඩාවත් අර්බුදේ, දේශපාලනයත් අර්බුදේ ඔක්කොම අර්බුද තමයි ලංකාවේ?
මෙහෙමනේ ඉතින් අර්බුද නැති රටක් නෑනේ. අපි කියනවා අපේ රටේ තමයි අර්බුද තියෙන්නෙ කියලා. දැන් ඇත්ත කතාවක් කියන්නම්, මං ව්‍යාපාරත් කරනවා. කොරියාවෙන් කට්ටියක් එන්න හිටියා මගේ ආයතනයට.
ඒ ගොල්ලන් එහෙ ඉඳන් කෝල් කරනවා, ලංකාවේ මාර අර්බුදයක් කියලා. මං කිව්වා මේක ජාත්‍යන්තර මාධ්‍ය නිකම් හදලා තියෙන්නේ ඕගොල්ලෝ එන්න මං එයාපෝට් එකට වාහන එවන්නම්, එන්න හෝටලයේ ඉන්න පුළුවන් කිසි දෙයක් නෑ කියලා. එයාලා මගේ වචනේ උඩ ආවා. ඇවිල්ල කියනවා මොනවත්ම නෑ කියලා.
මම කියන්නේ දැන් තියෙන දේශපාලන අර්බුදය ගත්තොත් එහෙම මම හිතන්නේ මේක නීතියෙන් හෝ ගිහිල්ලා බේරගන්න ඕනේ. මොනවාහරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ශේර්ෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුවක් දාලා බේරගන්න. මේකට මිනිසුන්ව අදින්න එපා. අහිංසක මිනිස්සු අද ඉන්නවා ලංකාවේ 60%ක් විතර දවසේ පඩියට වැඩ කරන කට්ටිය. මොනවහරි වුණ ගමන්ම ඒගොල්ලන්ට කන්න නෑ. ලංකාවේ ඉන්නේ 70%ක් දුප්පත් මිනිස්සු. ඒගොල්ලන්නේ පඩිය ගත්තොත් රු.25,000යි, 20,000යි. ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන් වේලක් කන්න දෙන්නේ. ළමයින්ව ඉස්කෝලේ යවන්නේ.
මං ඕකට හො¼ද කතාවක් කියන්නම්. මේ ළඟදී සති දෙකක් ඇති මේ දෙමළ ඇමැතිවරු කතා කරනවා අයිතිය ගැන. ඊට පස්සේ ඉස්සර වෙච්ච දේවල් ගැන. ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මට තේරෙන්නේ නෑ මොනවාද කියලා ප්‍රජාතන්ත්‍රවාදය. ඒ දේශපාලනය කියන විෂය මට තේරෙන්නේ නෑ.
මං ඔය දේශපාලනය දන්නේ නෑ. දැන් මීට සති දෙකකට විතර කලින් කිලිනොච්චියේ අවුරුදු නවයක ගෑණු ළමයෙක් සියදිවි හානි කරගත්තා. හේතුව මොකද දන්නවාද? නිල ඇඳුම් ප්‍රශ්නේ. ළමයි තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට වයස 12යි, 9යි, 7යි. තාත්තගේ දවසේ පඩිය දෙසීයයි. අම්මට බලාගන්න වෙන්නේ බොහොම අමාරුවෙන්. එක වේලක් කන්නේ. ඉස්කෝලෙට යවනවා තුන් දෙනාවම ඇඳුම් ටික සවුත්තු වෙලා. දෙපාරක් හරි තුන්පාරක් හරි ගුරුතුමිය කිව්වා මේක. දැන් අලුතෙන් කූපන් එකක්නෙ දෙන්නේ. කූපන් එකෙන් රෙදි අරගත්තට පස්සේ මහගන්න රු. 200ක්, 250ක් යනවා. ඒත් සල්ලි නෑ. බැලුවා බැලුවා මේ ළමයා සිය දිවි නසා ගත්තා. ඒක බලන්න එක්කෙනෙක්වත් නෑ. කවුරුත් දන්නෙත් නෑ.
අපේ ගුණ ජය සතුට පදනම තියෙනවානේ. හැම දිස්ත්‍රික්කයකම දාලා තියෙනවා දුප්පත් මිනිස්සුන්ට ආධාර කරන්න පදනමේ ශාඛාවක්. ඒකට මේක ආරංචිවෙලා ගියා. මං මේ කියන හින්ද නෙවෙයි. මගේ අතින් මං 25,000ක් දුන්නා. ඊට පස්සේ ඒ ළමයි දෙන්නෙක් ඉන්නවා. මං සල්ලි දෙනවා ඒ පදනමට. ඒකෙන් රුපියල් දාහ දාහ හැම මාසෙම දෙන්න. අඩුම ගාණේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැති වෙන්න එක මන්ත්‍රි කෙනෙක් නෑ. ඒ අම්මා අඬනවලු.
අපි ගමුකෝ ඔයාලගේ පවුල. ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද, ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන එක. ඊට පස්සෙ උගන්නන්න.
ඒ දෙකනෙ මූලික. ඇඳුමක් ගන්න එක තව දේවල් ගන්න එක අනිත් දේවල්. මේ රටේ 70%ක් ජීවත් වෙන්නේ මෙහෙම හරි අමාරුවෙන්. කොළඹ ඉන්න මිනිස්සුන්ට මං කියන්නේ ඒ ගොල්ලන්ට බඩු මිල පරිප්පුවලින් රු. 20ක් ඉහළ ගියත් කමක් නෑ. පෙට්‍රල්වලින් රු. 10ක් ඉහළ ගියත් කමක් නෑ. 70%ක් විතර ඉන්නේ ලක්ෂෙට වැඩිය පඩි ගන්න කට්ටිය. ඒ ගොල්ලන්ට වෙනස තේරෙන්නේ නෑ.
ඔය ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ඒවා දෙවැනියට වැදගත් දේවල්. මිනිස්සු මට බනී. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කොහොමත්. නීතියත් තියෙනවා. ඒක ඕන ඕන විදියට හරවගන්න පුළුවන් මිනිස්සුන්ට. නීතිඥවරු ඉන්නවා හරිම දක්‍ෂයි. වැරැද්දක් කළත් ඒක නිවැරැදි කරන්න පුළුවන් ඒ ගොල්ලන්ට. එහෙම කරන කට්ටියත් ඉන්නවා. සල්ලි තිබ්බොත් ඕන එකක් කරගන්න පුළුවන් මේ රටේ.
එතකොට මුරලි කියන්නේ ඒවාට ප්‍රධානත්වය දෙන්නේ නැතිව මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න කියලද?
ඒකනේ පාර්ලිමේන්තුවට යවන්නේ නියෝජිතයන්ව ඒ පළාතෙන්. එයා කියන්නේ නෑනේ මට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා. කෝ තුන් වේලම කෑම, කෝ ඉගෙනීමට යනකොට ළමයින්ට ඉගෙනීම, බුද්ධියක් දෙන එක ඒකනේ වැදගත්.
ගොඩක් වෙලාවට උතුරේ දේශපාලනඥයන්ගෙන් ඇහුවම ඔවුන් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕනේ කියලා?
මොනවද මං අහන්නේ. උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුළුවන්ද? කියන්නකො මට. මොනවද වෙනසක් දෙන්න පුළුවන්ද?
මං කියන්නම් මම දෙමළ, ඔයා මුස්ලිම්නේ. සිංහල හැම ජාතියම ඉන්නවා. මේ අපි ඔක්කොම මිනිස්සු. මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ. ඒගොල්ලන්ගෙන් කෑල්ලක් කැපුවත් යන්නේ ලේ. මේක ඉඳන් හදාගත්ත දෙයක් මට තේරෙන විදියට.
දැන් අපි ඇත්ත කතා කළොත් 77දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා. තාත්තගෙ ඇඟේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් පාරවල් 18ක්. බොහොම අමාරුවෙන් බේරුණේ. ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නැ.
නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා. ඉන්දියාවේ ඔක්කොම ඉන්නෙ. අපි ගියේ නෑ. 83 අපිට මොනවත් වුණේ නෑ. ඒ වගේ මිනිස්සු විශ්වාස කරනවා අපි ලංකාවේ පුරවැසියෝ කියලා. අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්.
ඒ වුණාට අපි දැන් ලංකාවේ තමයි ඉන්නේ. ජාතිය හින්දා මෙහෙම වෙන්නේ. වැරැදි දේවල් වුණා දෙපැත්තෙන්ම. මං කියන්නේ නෑ සිංහල මිනිස්සු ඔක්කොම වැරැදියි කියලා. ඒකේ 5%ක් හිටියා. දේශපාලන තරගයේදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මිනිසුන්ට මෙහෙම කළේ. ඒකෙන් තමා මුළු රටටම මෙහෙම වුණේ.
ඒ වගේම දේශපාලනයෙන්ම ප්‍රභාකරන්ව හැදුවා. එයාට ස්ථාවරයක් තිබුණා. අපි පෙනී හිටින්න දෙමළ මිනිස්සු වෙනුවෙන්. ඒක කළා ඉස්සෙල්ලා ටිකේ. ඊට පස්සේ එයා මිනීමරන්න පටන් ගත්තා. ඒකෙන් එයා ත්‍රස්තවාදියෙක් වුණා. එතකොට මේ ගොල්ලොත් වැරැදි කළා. ඒ මිනිස්සු මැරුණා. කී දෙනෙක් මැරුණද. කැක්කුම තියෙනවානේ ඒ අම්මලා තාත්තලාටත්. ඒ වගේම දෙපැත්තටම වුණා. දෙපැත්තටම ඇවිල්ලා මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ.
යුද්ධයක් කියන්නේ අහිංසක මිනිස්සු මැරෙනවා. නැත්නං ඒකට යුද්ධයක් කියන්නේ නෑ. එහෙනම් ඉතින් සාමකාමීව ගහගන්නේ නැතිව බේරගන්න ඕනේ. ඉතින් එහෙම තමයි මේ රටේ වුණේ. ඉතින් 2009න් පස්සේ දැන් ඒගොල්ලන් ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ. මේක නෑ. අරක නෑ කියලා ඉතින් ඇත්ත කියන්න සාධාරණ වෙන්න එපැයි. අපේ රටේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ ගොල්ලන්ට අයිතියි මේ රට. කොච්චර නෑ කිව්වත්.
මං කියන්නේ ආගම්වලින් බලනවා නම් අපි සුළු ජාතිකයෝ. දැන් මම ඉස්කෝලේ ගියානේ. මම දක්ෂතාව තිබ්බ හින්දා මම තැනකට ආවනේ. මුළු රටම මම තරග කරද්දී සිංහල, මුස්ලිම්, බර්ගර් කියලා බලලාද මට සහයෝගය දුන්නේ. මගේ දක්ෂතාවට. රටේ පුරවැසියෙක් හැටියට මට සහයෝගය දුන්නා. මම ඒක නෑ කියන්නේ නෑ. දැන් මේ ගොල්ලන් කරන්නේ අපි මෙතන පෙනී සිටිනවා කියලා. ඇත්තටම සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ.
මම දන්න විදියට නම් කියන්න කැමැති නෑ ඕගොල්ලන්ම හිතාගන්න කවුද කියලා..
මේ රටේ ජනාධිපතිවරු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ. ඒක ඕගොල්ලන්ම තීරණය කරන්න. නැත්නම් කියයි මං මෙයාට සහයෝගය දෙනවා අරයට සහයෝගය දෙනවා කියලා. මම කාටවත් සහයෝගය දෙන්නේ නෑ. මම සහයෝගය දෙන්නේ දුප්පතාට සහයෝගය දීලා ඒගොල්ලන්ව ගොඩගන්න කෙනාට. මට පක්ෂයක් නෑ. මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා. මාව ගොඩ දාලා තියෙනවා.
ඒකයි මං මිනිස්සුන්ට උදවු කරන්න පදනමක් හැදුවේ අවුරුදු 18කට කලින්. ඒක හැදුවේ 2000දී.
මට ප්‍රශ්නේ වුණේ 95දී. මායි කුෂිල් ගුණසේකරයි හදලා දැන් දිස්ත්‍රික්ක 12ක තියෙනවා. අපේ වියදම මිලියන 200ක්. මගේ සල්ලිත් දානවා. පිටරටින් ගේනවා. අපිට මිලියන 200ක් එකතු කරලා මිනිසුන්ට උදවු කරන්න පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අග්‍රාමාත්‍යවරයා හරි මුදල් අමාත්‍යවරයා හරි ඒ ගොල්ලන්ව යවන්නේ ඇයි? අපිට යහපතක් කරයි කියලා. එතකොට ඒ නිසා එයාලට කියන්න බෑ අපි මේ ණය ගත්තු හින්ද කියලා.
තාත්තා කෙනෙක් ගෙදරක් පාලනය කරන්නේ කොහොමද? මුලින් බජට් එකක් හදනවා. මේ දේවල් කරන්න ඕන කියලා හිතනවා. ඒක කොහොමහරි ණය වෙලා හරි කරන්න ඕනෙනේ. ඊට පස්සේ ණය ගෙවන විදියත් බලනවා. ඊළඟට පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරනවා. එහෙම තමයි ගෙදරක් පාලනය කරන්නේ.
දැන් අපි පාර්ලිමේන්තුවට කට්ටියව යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ. ඉතින් එහෙම ඇවිල්ලා කියන්න බෑ බඩු මිල ඉහළ දාන්නේ මේක නිසා අරක නිසා කියලා. ඒගොල්ලන්ට ඒක දුන්නේ වැඩක් කරන්න. ඒකට බෑ කියනවා නම් දාල යන්න ඕනේ. නිදහසට කරුණු කියන්න බෑ. නිදහසට කරුණු තුන්දාහක් දෙන්නම් මං.
දැන් මට පන්දු යවන්න බැරි වුණාම මට කියන්න පුළුවන් නිදහසට කරුණු 25,000ක් විතර. මේක වුණේ මට මේක හින්දා මේක වුණේ නෑ කියලා. නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ කතාවක් ඒක. අපි අමාරු කාලෙක ජීවත් වුණේ. මම ඉපදුණේ 1972. අපි පොඩි කාලේ දන්නේ නෑ 77න් පස්සේ බය වුණා. 83 එහෙම මම හොස්ටල් එකේ හිටියේ බයෙන්. 87 ජේ.වී.පී. ප්‍රශ්න එතනත් බයයි. බයෙන් ජීවත් වුණේ අපි ඔක්කොම. 95ත් බෝම්බයක් පිපිරිලා බය වුණා. 1997 මේ ගෙදර හැදුවේ. මම ක්‍රිකට් ප්‍රැක්ටිස් යද්දී යන්නේ අස්සේ පාරවල්වලින්. බයයි.
පාර්ලිමේන්තුව පැත්තෙන් යන කොට කොයි වෙලේ ඇමැති කෙනෙක්ට බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා දෙමළ වෙලත් අපි එහෙමයි ජීවත් වුණේ. යුද්දෙ ඉවර වුණාට පස්සේ නිදහසේ යන්න පුළුවන්. ඒකනේ නිදහස. ඒ නිදහස හැම තැනම තියෙනවා. අද යාපනේ යන්න පුළුවන්නේ. මම ගියා යාපනේ යුද්ධ කාලෙදි මම තමිල් සෙල්වම්වත් හම්බවෙලා තියෙනවා.
මම තනියම ගියේ නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ගයෙන් ගියේ. ඒගොල්ලන්ට ජපානයෙන් පෝෂ්‍යදායි ආහාර හම්බවුණා. ඒ ආහාර බෙදන වැඩසටහනට තමයි මම ගියේ. ඒකෙදි ඔහුත් එක්ක ඒ බෙදාහැරීම් සම්බන්ධව සාකච්ඡා කරලත් තියෙනවා. එහෙම තත්ත්වයක් තිබිලා ඒ කාලෙත් එහෙම කළා. දැන් ඉතින් දුප්පත් මිනිහා ගැන බලන්න පුළුවන්නේ. ප්‍රේමදාසට යුද්දෙ තියෙද්දිත් දුප්පත් මනුස්සයා ගැන හොයල බලලා ගෙවල් හදල දෙන්න පුළුවන් නම් මේ යුද්දෙ නැති කාලෙ මිනිසුන්ට වැඩ කරන්න පුළුවන්නේ.
යුද්දෙන් වෙච්ච සමහර දේවලුත් තියෙනවා. අතුරුදන් වෙච්ච අයගේ ප්‍රශ්න. සිංහල, දෙමළ අයගේ තාමත් ඒ මවුපියෝ හොයනවා. එතකොට දැන් ඒ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඕනේ නේද?
කොහොමද විසඳුමක් දෙන්නේ. මං අහන්නේ විසඳුම කොහෙන්ද ගන්න පුළුවන්. දැන් ගහනවා ෂෙල් එකක්. යුද්දෙ කාලෙදි ආමි එකෙන් ගහනවා ඒකත් ඩෝං ගාලා වැටෙනවා. මැරෙනවා. මොකක්ද ඒකට විසඳුම. ෂෙල් එකට බලලා කියන්න පුළුවන්ද මෙයාව තමයි මං මැරුවේ කියලා. ඒක යුද්ධයක්. එල්.ටී.ටී.ඊ. එකෙන් ගහනවා. බෝම්බයක් දානවා. අතුරුදන් කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා පැහැරගෙන ගිහින් කියලා.
නමුත් ඇත්තටම පැහැරගෙන ගියාද කොහෙද ඒ ගොල්ලෝ. ඒවට මේ ගොල්ලන් ගාවත් උත්තර නැතිව ඇති. ඉතින් උත්තරයක් හොයන්න බැරි දේ ගැන කතා කරලා වැඩක් නෑනේ. අතීතය ගිහින් ඉවරයි. එකම විසඳමක් දෙන්න පුළුවන්. ඒ ගොල්ලන්ට ජීවන උපක්‍රමයක් හදලා ඒ පවුල්වලට වන්දියක් දෙන්න ඕන. ඒ කට්ටියට විතරක් නෙවෙයි ආමි එකේ කට්ටියටත්. ආමි එකේ කී දෙනෙක් මැරුණද. එක එක බෝම්බවලින් මැරිච්ච කට්ටිය ඉන්නවා. ඒ ගොල්ලන්ටත් වන්දි ගෙවන්න. කරනවා නම් හැම කෙනාටම සමානව කරන්න. වන්දියක් ගෙවන්න ප්‍රශ්නයක් නෑ.
දැන් මොනවාද ඕනේ. කොහොමද මේ රටේ ආර්ථිකය දියුණු කරලා කොහොමද මේ දුගී දුප්පත් මිනිහාව උඩට ගන්නේ. ඒක තමා ලොකුම ප්‍රශ්නේ. මම කියන්නේ මගේ මතය. එක එක්කෙනාගේ එක එක මත තියෙනවා. මේක කවුරුත් අනුගමනය කරන්න ඕන කියලා මම කියන්නේ නෑ. ගන්න කට්ටිය ගන්න පුළුවන්. අනිත් අය විසික්කරලා දාන්න පුළුවන්. මේ රටේ ඉන්න අයට මම කියන්නේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ දුප්පත්කම නැති කරන්න. ඒ කියන්නේ ළමයෙක්ට බඩගින්නෙ ඉන්නේ නැතිව තුන්වේලක් කන්න හදලා දෙන්න ඕනේ. ඒක යුතුකමක් පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රිවරුන්ගේ.
අපි ගොඩක් දෙනා විවේචනය කරනවා දේශපාලනඥයන්ව. ඔවුන් මේ දේවල් කරන්නේ නෑ කියලා. නමුත් ඒ විදියට හොඳ අය දේශපාලනයට එන්නෙත් නැහැ.
එහෙම කියන්න බෑනේ. හොඳ නරක කොහොමද තෝරන්නේ. සමහරු කියන දේවල් බොරු වෙන්නත් පුළුවන්. මෙයා ලක්ෂ 50ක් ගත්තා, මෙයා කොමිස් ගැහුවා. ඒවා ඔප්පු කරන්න ඕනේ. කවුරු වුණත් කමක් නෑ. කොයි පක්ෂයේ වුණත් තමන්ට කවුරු හරි චෝදනාවක් දානවා නම් කරුණු නීතිය ඉදිරියට ගෙනිහිල්ලා ඔප්පු කරන්න.
ඔප්පු කරලා කියනකන් මුකුත් කියන්න බෑ ඒ ගොල්ලෝ කළා කියලා. විශ්වාස කරන්න බෑ. ඒක ඒ ගොල්ලන්ට කරන අපරාධයක්. ඒ මිනිහට පාරේ බැහැලා යන්න බෑ. දැන් මං උදාහරණයක් කියන්නම්. සනත් ජයසූරිය කියන්නේ ඔක්කොම ආදරේ කරපු ක්‍රීඩකයෙක්. ලෝක කුසලානේ ගන්න උදවු කරපු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. මගේ හොඳ යාළුවෙක්. නමුත් ඔප්පු කරන්නේ නැතිව එයා වැරැදි කළා කියලා කියන එක මම පිළිගන්නේ නෑ. මගේ යාළුකම හින්දා නෙමේ. එයා එහෙම කරල තිබ්බ නම් මම තමා ඉස්සෙල්ලම අප්සට් වෙන්නේ.
මම එයා එක්ක පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගහපු එක්කෙනෙක්. මම තාම විශ්වාස කරනවා එයා එහෙම කරල නැතිව ඇති කියලා. ඉතින් දැන් මිනිස්සු එයාව සවුත්තු කරලානේ තියෙන්නේ. එහෙම කරන එක අසාධාරණයිනේ. මම ඒක හින්දා කියන්නේ නෑ කවුද හොඳ කවුද නරක කියලා. මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාලා මිනිහෙක් වුණාම ජීවත් වෙන්න විදියක්, ළමයින්ට හොඳ ඉගෙනීමක් දෙන්න.
කන්න බොන්න දෙන්න, ඉල්ලන දේවල් අරන් දෙන්න අපිට වත්කම තියෙනවා. ඒ වගේම දුප්පත් කෙනාගේ තියෙන දේවල් වෙනස්. ළමයින්ට කන්න දෙන්න ඕනේ. ළමයා බඩගින්නෙ ඉඳිද්දී ළමයින්ට කන්න දෙන්න නැත්නම් කෙනෙක්ට කොච්චර රිදෙනවා ඇද්ද. දේශපාලනඥයෝ ඒ තත්ත්වෙ බලන්න ඕනෙ. ඉස්සෙල්ලා ඒක නිවන්න. කුසගින්න නිවන්න. ඒක තමා පළමුවැනි එක. දෙක අධ්‍යාපනය. තුන සෞඛ්‍ය. ඔය තුන තමයි මූලිකව බලන්න ඕනේ.
තාත්තා කෙනෙක් පවුල නඩත්තු කරන්න අයවැය හදනවා වගේ දේශපාලනඥයන්ට දීලා තියෙනවා අපි ඔක්කොම ළමයි. අපිට ඒ ගොල්ලන් තාත්තා කෙනෙක් වගේ ඉඳලා අපිට උදවු කරන්න ඕනේ. ඒ කෝණයෙන් බැලුවොත් මම හිතනවා මේක හොඳ තත්ත්වයකට යයි කියලා. බැරි නම් දාලා යන්න ඕන.
මම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ඕකනෙ කිව්වේ. කරන්න බැරිනම් දාලා යන්න. වෙන කාටහරි දෙන්න. මම කාගෙවත් පක්ෂෙක නෙවෙයි. කෙනෙක් කියනවා නම් අපිට බලය තියන්නේ, ජනාධිපති කියනව නම් නෑ මගේ බලය තියන්නේ කියලා. ඒක තර්කයක් විතරයි. විසඳුමක් නෑ.
මාව 2010 ආසියා කුසලානයේදී අයින් කළා. මම හොඳට පන්දු යවද්දීත් වෙන කාරණාවක් නිසා අයින් කළා. ඒක මම කාටවත් කියන්න කැමැති වුණේ නෑ.
උදේ ආපහු ගෙන්නුවා. ඒකෙන් පස්සේ තමා මම ක්‍රිකට්වලින් ඉවත් වෙන්න තීරණය කළේ. තම තමන්ගේ අතරවත් ආත්ම ශක්තියක් නෑ. මාව පන්දු යවන්නෙක් විදියට දාන්න. මං වෙනුවට තව හොඳ කෙනෙක් ඉන්නවා. මං හිතුවේ මේ ගොල්ලන්ටත් මට කරන්න පුළුවන් දේ බෑ කියලා හිතනවා. සැකයක් ඇති වෙනවා. රෑ කිව්වා මං ගහන්නේ නෑ කියලා. උදේ කිව්වා මං ගහනවා කියලා. ඒකෙන් පස්සේ ඉවත් වුණා.
ලෝක කුසලානේදීත් මම කිව්වේ මාව ටීම් එකට ගන්නව නම් මාව තියාගන්න නැත්නම් වෙන කෙනෙක්ට අවස්ථාවක් දෙන්න.
බොරුවට මාව තියාගන්න එපා කියලා මම කිව්වා. නිකම් නමට තියෙන එක වැඩක් නෑ කිව්වාම අරවින්ද කිව්වා ඕස්ට්‍රේලියා එකයි ලෝක කුසලාන එකයි ගහන්න කියලා. ඊට පස්සේ ඉවත් වුණා කියලා මිනිස්සු මට බනින්න පුළුවන්. නිකම් මිනිස්සු ඇවිල්ලා ඔය රැලිවලට ඇවිල්ලා බලන් ඉඳීද?
කෑම එකක් දීලා සල්ලි දීලා බස්වලින් ඇවිල්ලා බස්සන අය තමා ගොඩාක් ඉන්නේ.
ඒක ඒ ගොල්ලන්ගේ අයිතියක්. ඕන පක්ෂයක් එහෙම තමා කරන්නේ. මිනිස්සු එදා වේල කන්න නැතිව ඉන්නේ. ළමයින්ට කන්න දෙන්නේ නැතිව මෙතැනින් කොළඹට ඇවිල්ලා කෑ ගගහ ඉඳීද. මම නම් පිළිගන්නේ නෑ. ඒ තම තමන්ගේ බලය, ශක්තිය පෙන්නන්න කරන දේවල්.
– mawbima.lk
