2015 අගෝස්තු මස 18 වැනි දින පැවති මහමැතිවරණයෙන් තෝරාපත් කරගනු ලැබූ 8 වැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් විසුරුවා හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊට සහය පළ කරන පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඈ) අනූ ව්‍යවස්ථාව යොදාගනු ලබන අතර ඊට එරෙහි පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සීමා පනවා ඇති 70 වෙනි ව්‍යවස්ථාව උපුටා දක්වනු ලබනවා.
එජාප මතය
————————-
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය. මෙම මැතිවරණය නීති විරෝධී බැවින් එය අවලංගු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගවලට එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ලබන බව ඔහු ප්‍රකාශ කලේය.
මෙහිදී අදහස් දැක්වූ එජාප සභාපති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කලේ තවමත් බහුතරය ඇත්තේ තමන්ට බවත් ලබව සතියේ එය යළිත් වරක් පෙන්වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ‘‘පසුගිය 26 වැනිදා සිකුරාදා තමන්ගේම රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරලා එම රජය නීති විරෝධී ලෙස ඉවත් කරන්න කටයුතු කළ එකම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ඉතිහාසයට එකතු වුණා. තමන් ගෙනා ව්‍යවස්ථා සංශෝධනය තමන්ම උල්ලංඝණය කළ එකම රාජ්‍ය නායකයා ලෙස ඔහු ඊයේ යලිත් වරක් ඉතිහාසයට එක් වුණා.” යැයි පැවසීය.
TNA මතය
————————
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බැවින් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.
සති අන්තයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අධිකරණය හමුවට යාමට තවත් දින දෙකක් ගත වන බව දැනගෙන එය අවස්ථාවක් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඊට අභියෝග කිරීම තම පක්ෂය සූදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.
ජවිපෙ මතය
————————
ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් ඊයේ (10) සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කරමින් කියා සිටියේ ව්‍යවස්ථා විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බවයි. ජනාධිපතිවරයා පසුගිය 26 වැනිදා නව අගමැතිවරයෙක් පත්කිරිමේ සිට මේ දක්වා කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාට පටහැනිව බවත් නව අගමැති පත්කිරිම, අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම, ජනමාධ්‍ය අමාත්‍යංශය පවරාගැනීම, නීතිය හා සාමය අමාත්‍යංශ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම, පාර්ලිමේන්තු විසුරුවාහැරීම යන සියලුම කාරණා ව්‍යවස්ථා විරෝධී බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කලේ එවකට තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුව පත් කළ දිනයේ සිට වසරක් දක්වා වූ සිමාව වසර 4 1/2ක් දක්වා වැඩි කිරීම බවත් වර්තමාන තත්වය පිළිගතහොත් සිදුවන්නේ පැවති තත්ත්වයටත් එහා ගිය බලයක් ජනාධිපතිවරයා ලැබීම බවත් ඒ අනුව පාර්ලිමේන්තුව පත්වූ දිනට පසු දිනම වුවත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ඇති බව පිළිගැනීම බවත් තම පක්ෂය ඊට දැඩි ලෙස විරුද්ධ බවත් ප්‍රකාශ කළ දිසානායක මහතා අධිකරණයෙන් මෙම ප්‍රශ්නය විසඳාගත යුතු බව කියා සිටියේය.
බදුයුදීන්ගේ මතය
———————–
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් ඊට එරෙහිව ඉදිරියේදී තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වී ඇති නම් එයට පිළියමක් ලෙස ජනාධිපතිවරයා සිදුකල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස්කොට බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින ආණ්ඩුව ස්ථාපිත කොට තුනෙන් දෙකක කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවීම බව ද එ මහතා සඳහන් කරයි.
පෙරටුගාමී මතය
———————–
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ විහිලුවක් බවට සනාථ වී ඇති බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය. ඔහු පවසන්නේ යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සැබෑ ප්‍රජාතන්තවාදි ප්‍රතිසංස්කරණයක් බවට මවාපෑමට කටයුතු කළ බවයි.
