FEATURED

ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය හොයන්න ගිය අයට වැඩ වරදී – ලක්ෂයක නඩු ගාස්තු ගෙවන්නත් අධිකරණයෙන් නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමේ නඩු කටයුත්තක් ආරම්භ කරන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 03) අභියාචනාධිකරණයට අතුරු පෙත්සමක් ඉදිරිපත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ අදාළ පෙත්සමන නිශ්ප්‍රභ කරන ලෙසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට දෙසැම්බර් 10 වන දා ඉදිරිපත් කර තිබුණේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නැමැති කාන්තාවක විසිනි. ඇය ඉදිරිපත් කළ අදාළ පෙත්සමෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත මන්ඩමුස් රිට් ආඥා පෙත්සමක් ගොනු කළ බව පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සිසිර සිරිවර්ධන දෙසැම්බර් 10 වන දා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

කෙසේ නමුත් පෙත්සම්කාරිය ගොනු කර ඇති අදාළ පෙත්සම පදනම් විරහිත බව පැවසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ඇය සත්‍ය කරුණු වසන් කරමින් එය ඉදිරිපත් කර ඇති බවට ද චෝදනා කර තිබුණි. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ මෙවැනි පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහි මෙවැනි නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ගරු අධිකරණයට පෙන්වා දී තිබේ.

මෙම සියලු කරුණු වසන් කරමින් පෙත්සම්කාරිය සිය පෙත්සම ඉදිරිපත් කර ඇති බවත්, එබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සිය අතරමැදි පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් නීතිවේදිනී අචලා සෙනෙවිරත්න පවසා තිබුණේ  “ශ්‍රී ලංකාවේ කිසියම් රජයේ සේවකයෙකුට මානසික ව්‍යාකූලතාවක් පැවතීම හේතුවෙන් ඔහු/ඇය අදාළ ධුර දැරීම මගින් මහජනතාවට හානියක් සිදුවෙන්නේ දැයි විමසා බැලීම පිණිස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඕනෑම පුරවැසියෙකුට හැකියාව පවතිනවා,” යනුවෙනි. නමුත් මෙම තීන්දුව සමග එය ජනාධිපතිවරයාට අදාළ නොවන බව තීරණය වී තිබේ. 

කෙසේ වුවත්, කිසියම් රජයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් එවැනි ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලය තිබෙන බව පිළිගන්නා ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා ඇත්තේ විධායක ජනාධිපතිවරයාට එරෙහිව එවැනි පෙත්සමක් ඉදිරිපත් කළ හැකි දැයි යන්න ගැටලුවක් බවය. පොලිසිය බැඳී සිටින කටයුත්තක් සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් පොලිසියට නියෝග කිරීමට අධිකරණයට බලය තිබෙන නමුත්, ඒ සඳහා මුලින්ම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ඉහත කී පෙත්සම ඉදිරිපත් කෙරුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කොට, ඉන් සති කිහිපයකට පසුව පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමෙන් අනතුරුවය. එබැවින් එය දේශපාලනික ජනාධිපතිවරයා වෙත මඩ ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් ගොණුකළ පෙත්සමක් බවටද සමාජ කතිකාවක් ඇති වී තිබිණි.

මෙම නඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය නිහඩව සිටීම කාගෙත් ප්‍රශංසාවට ලක්විය. අදාළ පාර්ශව වලට කිසිඳු බලපෑමක් නොකර නඩු කටයුතු සඳහා සහභාගී වී නීතියෙන්ම ගැටලුව විසඳා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම රට ලැබූ ජයග්‍රහණයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පා.ම. උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය අතිශය උසස් මට්ටමක පවතින බව මෙම නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හැසිරීම හරහා ඔප්පු වී ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අදාළ පාර්ශවවලට එරෙහිව අපහාස නඩු දැමීමට පියවර ගන්නා බවයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top