FEATURED

රාජ්‍ය සංස්ථා සභාපතිවරුන් පත් කිරීම ප්‍රමාද කරවන ජනපති කමිටුවේ නිර්නායක මෙන්න

රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා අධිකාරීන් ඇතුළු ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට දිනෙන් දින කල්ගතවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ හේතුවෙන් එම ආයතන අකර්මන්‍ය වී ඇති බවත් තීරණ ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් මහජනතාව අසීරුතාවයන්ට මුහුණ දෙන බවත් වාර්තා වේ.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ජනාධිපතිවරයා විසින් ආයතන ප්‍රධානීන් පත් කිරීම කමිටුවක අනුමැතියට යටත් කිරීමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ එම කමිටුවට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් කටයුතු කරනු ලබයි. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක‍්‍රලේඛයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබෙන්නේ අදාළ චක්‍රලේඛය අනුගමනය කිරීම අනිවාර්ය බවයි.

රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව පත් කර තිබේ. මෙහි අනෙකුත් නියෝජිතයින් ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු වේ.

මෙහිදී ප්‍රධාන නිර්නායක කිහිපයක් යටතේ සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සිදුවේ. ‘සත්දින’ට වාර්තා වන අන්දමට අදාළ නිර්නායක මෙසේය. ඒ අනුව සභාපතිවරයෙකු, හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වීමට පහත සුදුසුකම් එකක් හෝ සපුරා තිබිය යුුතුය.

1. පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම හෝ,

2. අදාළ ක්ෂේත්‍රයේ වසර 15ක පළපුරුද්දක් තිබීම හා ක්ෂේත්‍රයේ පිළිගැනීමකට ලක්ව තිබීම හෝ,

3. අදාළ ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය අයෙකු වීම හෝ,

4. හිටපු කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වීම හෝ,

5. දෙවරකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වීම හෝ,

6. පළාත් ආණ්ඩුකාරධූරයක්/ප්‍රධාන අමාත්‍යධූරයක්/අමාත්‍යධූරයක් දරා තිබීම හෝ,

7. රාජ්‍ය ආයතනයක කළමණාකරණ මට්ටමේ වසර 15කට වැඩි පළපුරුද්දක් තිබීම හෝ,

8. ඕනෑම ක්ෂේත්‍රයක ආචාර්ය උපාධියක් තිබීම හෝ,

9. විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබීම හෝ

10. නීතිඥවරයෙකු, ගණකාධිකාරිවරයෙකු, හෝ පිළිගත් වෘත්තිය සුදුසුකමක් තිබීම

යන සුදුසුකම්වලින් එකක් හෝ තිබීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අමතරව අධිකරණයක් මගින් වරදකරුවෙකු කර තිබෙනවා නම් එය විශේෂ නුසුදුසුකමක් ලෙස දක්වා තිබෙනවා. මේ අනුව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් විසින් එම කමිටුව වෙත යොමු කර ඇති නම්වලින් 85%ක් අදාළ සුදුසුකම් සපුරා නොමැති වීම හේතුවෙන් ආයතන ප්‍රධානීන් පත් කිරීම මෙතෙක් ප්‍රමාද වී තිබෙනවා. කෙසේ වෙතත් එජාපය විසින් යොමු කර ඇති නම් මීට පෙර එම ධූරයන් දරා තිබෙන අයම වීමද විශේෂිත වේ. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අදාළ සුදුසුකම්වලින් තොරව තනතුරු දරා තිබේ. බොහෝ අය සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් අය මෙන්ම කිසිඳු ක්ෂේත්‍රයක ප්‍රවීනතාවයක් දක්වා නොමැති වීම හේතුවෙන් යළි එම තනතුරු සඳහා පත් කිරීමට නිර්දේශ කළ නොහැකි බව කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා අදාළ කමිටු රැස්වීමකදී පවසා ඇත්තේ එම රාජ්‍ය ආයතන පිහිටවූ අදාළ පනත්වල පැහැදිලිවම සුදුසුකම් දක්වා තිබෙන බවත් මුල සිටම අදාළ සුදුසුකම් සපුරා නොමැති අයව පත් කර තිබෙන බවත් තම කමිටුව එම සුදුසුකම් මත අදාළ නිර්නායක සකස් කළ බවය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top