නයාරු පන්සලේ ඇතිවීමට ගිය ප්‍රබල ජාතිවාදී ගැටුමක් හිමිනමගේ සාමකාමී හැසිරීමෙන් වැළකෙයි

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් සෑදීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශාන්ති ස්කන්ධරාජා මහත්මිය හා එස්.ශිවමෝහන් මහතා ඇතුළු පිරිසක් (14) පැමිණි බව මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරන විහාරධිපති හිමිනම වැඩිදුරටත් මෙසේ පැවසූහ.

“තමන් වහන්සේ ඊයේ (14) උදෑසන විහාරස්ථානයේ වැඩ වසන වෙලාවේ ට්‍රැක්ටර දෙකක බඩු මුට්ටු පටවාගෙන දෙමළ ජාතිකයන් පිරිසක් ආවා. ඇවිල්ලා මගෙන් අවසරයක්වත් ගන්නේ නැතුව එකවරම විහාර සීම‍වට ඇවිල්ලා පොඩි ටකරන් මඩුවක් ඇටෙව්වා. මම ඇහැව්වා ඇයි කියලා. එතකොට එයාලා කිව්වා අපේ කෝවිලක් පන්සල ඇතුළේ තියෙනවා. ඒකේ තෛපොංගල් සමරන්න ආවා කියලා.

මම කිව්වා එතකොට පන්සල ඇතුළේ මඩු ගහගෙන‍ තෛපොංගල් සමරන්න බැහැනේ කියලා. එතකොට ඒ අය මන්ත්‍රීවරු කට්ටියකට කෝල් කරා. එහෙම කෙරුවට පස්සේ චාර්ල්ස් කියලා මහත්තයෙක්, ශාන්ති කියලා නෝනා කෙනෙක්, ශිවමෝහන් මහත්තයා කියලා මහත්තයෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇවිල්ලා මහා ගාල ගෝට්ටියක් කෙරුවා. පොලිසියෙනුත් ආවා.

එයාලා ඇවිල්ලා උදේ පන්සලේ තිබුණ කොඩිවැල් කඩලා පන්සල් වත්තේ මඩුවක් ගහලා කිරිබත් හදලා පන්සලේ බිම හාරලා ගල් වගයක් දැම්මා. මම ‍මොකවත් කිව්වේ නෑ. පොලිසියේ මහත්වරුත් බලාගෙන හිටියා.

මේක දැන් එයාලගේ බිමක් කියලා එයාලා කියනවා. රවිහරන් කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් ආවා. එයාට පන්සල්වලට කරදර කරන්න එපා කියලත් පොලිසිය කියලා තියෙනවා. ඒත් එයා මිනිස්සු කුලප්පු කරලා කටයුතු කරනවා.

මේ නයාරු පන්සල තියෙන ස්ථානයට තමයි දළදා වහන්සේ වැඩම කරලා තියෙන්නේ. බුද්ධ වර්ෂ 244 ක කාලයේ ඉදලා අතීත සටහන් විහාරස්ථානයේ තියෙනවා. ඉස්ස පන්සලේ චෛත්‍යය පහක් තිබිලා තියෙනවා. ඒත් යුද්දේ කාලයේ එව්වා විනාශ වෙලා.

පුරාවිද්‍යාව පන්සල සීමාව අක්කර 93 කින් යුතුව 2013 අගෝස්තු 16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා. ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා.

මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්. යුද්දේ ඉවර වුණාට පස්සේ. මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා.ඒකට තමයි ඔය කට්ටිය විරුද්ධවෙලා එක එක ප්‍රශ්න දාන්නේ. මම කියන්නේ ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය රැක ගන්න ඕනේ. දළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොද නෑ. ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් දත කන්නේ.

යුද්දේ කාලයේ පන්සල ඉස්සරහා පොඩි දේවාලයක් හදලා යුධ හමුදාවේ කට්ටිය හා දෙමළ ජනතාව පූජා පවත්වලා තියෙනවා. ඒක අල්ලගෙන තමයි දැන් පන්සල් භූමිය එයාලගේ කියලා කියන්න උත්සහ කරන්නේ. ඒත් මේ විහාරස්ථානය ගැන අතීත තොරතුර බුද්ධ වර්ෂ යුගය දක්වා විහිදෙනවා.

නයාරු අපේ විහාරස්ථානය අසළින් දළදා වහන්සේ ගොඩ බස්සවලා රුවන්මඩුව,‍ සේමමඩුව, මාමඩුව, මඩුකන්ද ආදි රජමහා විහාරස්ථාන හරහා තමයි දළදා වහන්සේ අනුරාධපුර රාජධානියට වැඩම කළා කියලා අතීත කථාවේ සදහන් වෙන්නේ. එහෙව් ස්ථානයක් දෙමළ මන්ත්‍රීවරු එයාලගේ කියන එක අසාධාරණයි. එයාලා මඩු ගහගෙන පන්සල් වත්තේ කිරිබත් හදලා ප්‍රශ්නයක් ඇති කරලා හවස තමයි මඩු ගලවාගෙන ගියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගෙන් විමසීමේදී නිර්මලනාදන් මහතා පැවසූවේ දැනට නයාරු විහාරය තියෙන ස්ථානයේ අපේ ජනතාවගේ කෝවිලක් තියෙනවා. ඒක පාරම්පරික කෝවිලක්.ඒ කෝවිලේ පූජවන් තියන්න තමයි අපි ගියේ. එතකොට තමයි හාමුදු‍රුවෝ කියලා තියෙන්නේ පන්සලේ මඩු ගහලා තෛපොංගල් සමරන්න අයිතියක් නෑ කියලා. ඒකට අපි විරුද්ධයි. අපේ පාරම්පරික කෝවිල් තියෙන අපේ ස්ථානයේ අපිට පොංගල් හදන්න කාගෙන්වත් අවසර ඕනේ නෑ.

යුද්දෙන් පස්සේ හමුදාව තමයි ඔය පන්සල හදලා තියෙන්නේ. එහෙම කියලා අපේ ජනතාවගේ කෝවිලේ ‍පොංගල් හදන්න දෙන්නේ නැතුව ඉන්න බෑනේ. පස්සේ ඒ ගැන මම තේරුම් කරලා දුන්නා. එහෙම කරලා අපේ කට්ටිය පොංගල් කිරිබත් හදලා ඉවරවෙලා එතැනින් ඇවිල්ලා තිබුණා.”

පසු සටහනක්

ඊයේ දිනට යෙදුණු තෛපොංගල් උත්සවය රට පුරා දමිළ ජනතාව සාමකාමීව සමරනු ලැබීය. දකුණේ ඇතැම් බෞද්ධ ස්වාමීන්වහන්සේලා පොංගල් බත පිසීමට සහභාගී වන අයුරුද දක්නට ලැබුණි. එය දැකීමෙන් සාමකාමී සිත් ඇති රට පුරා ජනතාව නිරාමිස ප්‍රීතියක් අත් වින්දේ අපි හැමෝම මිනිස්සුනේ, යන සිතුවිල්ල පෙරදැරිවය. නමුත් ඉහත කී සිද්ධියේ දී ඒ දමිළ ජනතාව වසරකට වරක් පැමිණෙන උත්සව අවස්ථාව පන්සලක් සමඟ පැටලෙන්න අවස්ථාවක් කරගනු ලැබුවේ අහම්බෙන් නොවේ. සිතාමතා විය යුතු යැයි හැඟේ. එය කිසියම් පිරිසකගේ උසි ගැන්වීමක් මත තැනුන සාමය කල්පවත්වා ගැනීමට ඉඩ නොතබන්නට ඇටවූවක්ද විය හැකිය.

අද මේ පුවත ඊයේ විඳී ඒ සාමකාමී සතුට මකා දමනු ඇත. උතුරේ බහුතරයක් අහිංසක ජනතාව , ලබැඳියන් අහිමි වීමේ දුක දැනෙන ජනතාව නැවත යුද්ධයක් ප්‍රතික්ෂේප කරයි. කිසිවක් සදාකාලික නොවන බව දත් බුද්ධිමත් ජනතාව ඇවිස්සීමකින් තොරව නුවණින් විමසා මෙවැනි අවස්ථාවන්ට මුහුණ දිය යුතුය.

සටහන සහ ඡායා – මාධව කුලසූරිය – වවුනියාව

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *