FEATURED

එජාපය කොටස් 6කට කැඩෙයි – සැඟවුන ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීද?

මීලඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් එම පක්ෂය විසින් නිල වශයෙන් හෙළිදරව් කර නැත. ඒ තත්ත්වය තුළ එජාපය ප්‍රධාන බල කඳවුරු 6කට බෙදී ඇති බව ‘සත්දින’ට වාර්තා වේ.

එහි එක් ප්‍රධාන කොටසක් විසින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර තිබෙන අතර ඔවුන් පවසන්නේ තමන් ජනාධිපතිවරණයේදී තමන් සහය දක්වන්නේ සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් පමණක් බවයි. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙකුගේ සහය හිමි වී තිබේ.

තවත් පිරිසක් ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර තිබේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙකුගේ සහය හිමිව තිබෙන බව වාර්තා වේ. මේ වෙනුවෙන් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රබල මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර තිබෙන අයුරු මේ දිනවල දක්නට තිබේ. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශයේ සේවය කළ බොහෝ දෙනෙකුගේ සහය ලබාගෙන තිබෙන අතර එම මාධ්‍ය මෙහෙයුම ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතාගේ මූලිකත්වයෙන් දියත් කර තිබෙන බවද වාර්තා වේ.

මේ අතර තවත් පිරිසක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කර තිබෙන අතර ඊට එජාපයේ කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහය නොලැබී ඇති බවත් එජාපයට සම්බන්ධ වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය ලැබී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙහි අනෙක් ප්‍රබල කණ්ඩායම වන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ඒකමතිකව ඉල්ලා සිටින්නේ කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කගේ සහය මෙම කණ්ඩායමට ලැබී තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙනම කාර්යාලයක්ද පිහිටුවාගෙන තිබෙන බව වාර්තා වේ. මධ්‍යම පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහයද මෙම කණ්ඩායමට ලැබී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් සංවිධානය වී සිටින අතර ඔවුන්ගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදීමට තීරණය කර තිබෙන බවද ‘සත්දින’ට වාර්තා වේ. ඔවුන්ගේ සහය ලැබෙන්නේ එජාප සාමාජිකයෙකුට බව පමණක් දැනට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වුවහොත් තම සහය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

මේ අතර වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඉල්ලා ඇතැයිද සඳහන්. ඒ අතර ප්‍රබල අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම, සාගල කාරියවසම්, තිලක් මාරපන, ලක්ෂ්මන් කිරිඇල්ල හා පා.ම. ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් සිටී.

නමුත් එජාප අභ්‍යන්තර අාරංචි මාර්ග පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ. එම යෝජනාව එජාපයට සහය දක්වන සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කර ඇතැයිද සඳහන්. මේ සඳහාද පාර්ලිමේන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම සහය ලැබී ඇති අතර හිරුණිකා පේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේද සහය හිමිව ඇති බව වාර්තා වේ.

(මෙහි නම් සඳහන් කිසියම් පාර්ශවකට කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අප හැම විටම බැඳී සිටින බව සඳහන් කළ යුතු අතර ඔබට යම් පැහැදිලි කිරීමක් හෝ නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් අදාළ පැහැදිලි කිරීම sathdina.lk@gmail.com වෙත යොමු කිරීමට කාරුණික වන්න)

86,784 Views
Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top