කවුරුහරි හිතනවා නම් ශ්‍රී ල.නි.ප.ය නැවතත් එ.ජා.ප.ය සමඟ ආණ්ඩු හදන්න ඕනය කියලා ශ්‍රී ල.නි.ප. මහ ලේකම් වන මම කියනවා එ.ජා.ප.ය එක්ක අපට ආපහු ගමනක් නෑ කියලා. අපට තියෙන්නේ වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් එක්ක ගමනක්. ඒ නිසා අපි ඒ ගමනට ලෑස්ති වෙන්න ඕන.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එසේ පැවැසුවේ තමා පිළිගැනීම නිමිත්තෙන් කුලියාපිටිය ශ්‍රී ල.නි.ප. ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගරයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
අපිට දැන් බලයක් නෑ. අපි දැන් ඉන්නේ ආණ්ඩුවේ නොවෙයි. අපි විපක්‍ෂයේ ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවක් ගැනීමට අපට දැන් මහන්සි වෙන්න වෙලා තියෙනවා.
ශ්‍රී ල.නි.ප.යට තනිවම දිනන්න බෑ. පොදුජන පෙරමුණටත් දිනන්න බෑ. අපි දෙගොල්ල එකතු වුණොත් විතරයි ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්.
අපි එ.ජා.ප.ය එක්ක එකතු වෙලා සම්මුති ආණ්ඩුවක් හැදුවා. සම්මුති ආණ්ඩුව හදන්න සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේ කිසිම පක්‍ෂයකට තනි බලයක් නැති වුණු නිසා. අපි අවුරුදු 2කට ඒ ගිවිසුම අස්සන් කළේ. ඒ අවුරුදු 2න් පස්සේ අපි තවත් අවුරුද්දක් සම්මුති ආණ්ඩුවේ හිටියා.
අපේ දෙමළ හා මුස්ලිම් ජනතාව අන්ත ජාතිවාදී පක්‍ෂවලට යන්න සූදානම් නැහැ. ඒ අය කැමැතියි ශ්‍රී ල.නි.ප.යේ අනන්‍යතාව සමඟ ඉදිරියට යන්න.
අද මේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් ගෙනල්ලා අතරමඟ ගෙනාපු කුණු කන්දල් සේරම එකතු කරලා ව්‍යවස්ථාව විදියට පාර්ලිමේන්තුවට දැම්මා. ශත 5ක වැඩක් නැති ව්‍යවස්ථාවක් තමයි ඒ ගෙනාවේ. ඒකට කවුරුවත් කැමැති වෙන්නේ නෑ.
ඒක සියලුම යෝජනා අදහස් ගෙනැල්ලා හදපු එකක්. ඇයි එහෙම කෙරුවේ. රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙනවා ඊළඟ ජනපතිවරණයට දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. සියලුම කුණු කන්දල් සහිත ඒ ව්‍යවස්ථාව ගෙනැල්ලා දැම්මා පාර්ලිමේන්තුවට.
දැන් සමහර අය එක එක්කෙනා ජනාධිපති අපේක්‍ෂයා කියා කියනවා. ඒ ගැන කතා කරලා දැන් වැඩක් නෑ. මොකද තව මාස 9ක් තියෙනවා ජනාධිපති අපේක්‍ෂක ගැන කතා කරන්න.
ඒ ගැටුමට අහුවෙන්න එපා කියලා මං මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපේ එකමුතුකම බිඳ ගන්නේ නැතිව මෛත්‍රි – මහින්ද දෙන්නා එකතු වෙලා සූදානම් වෙන්න ඕන. කවුද ජනපති අපේක්‍ෂකයා කියලා තීන්දු කරගන්න. එතකොට අපි බැහැලා වැඩ කරනවා. අපේ ජනාධිපති අපි පත් කර ගන්න.
කුලියාපිටිය – ආර්.ඒ. විමලරුවන්
වඩුමුන්නේගෙදර – තිළිණි පවිත්‍රා
15,965 Views
