ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සමුළුව අද (අගෝස්තු 11) සවස 3ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පවත්වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙම සමුළුව පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ එහිදී ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව එම පක්ෂය විසින් දැනුම් දී තිබෙන බැවින් වන නමුත් සමුළුවේ ප්‍රධාන අරමුණ මෙතෙක් කලක් නිල නායකත්වයක් නොතිබූ පක්ෂයට නිල නායකත්වයක් පත් කර ගැනීමයි.
ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා වශයෙන් නිල වශයෙන් පත්වීම සමුළුවේ ප්‍රධාන අංගයයි. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් සමුළුව අමතා කරනු ලබන විශේෂ කතාවේදී 2019 ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයෙකු පත් කර ගැනීමට යෝජනා කරනු ලබන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් බිහිවන සන්ධානයේ ජාතික අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලබන අතර එය ඒකමතික ඡන්දයෙන් අනුමත වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි.
එයින් පසුව සතියක් පුරා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය මැතිවරණ සටන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙන බව ද එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙළි කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානගත වීම පිළිබඳ අවසන් තීරණය මේ වන විටත් ගෙන ඇතැයි සත්දිනට වාර්තා වේ. ඒ ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර පැවති අවසන් සාකච්ඡාවේදීයි. නමුත් අද පැවැත්වෙන ජාතික සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට සහභාගී නොවී සිටීමටත් එහි මන්ත්‍රීවරුන් පෞද්ගලික මට්ටමෙන් සහභාගී වීමටත් නියමිතයි.
එළැඹෙන සැප්තැම්බර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ඇති බවත් එය සම්මත වීමෙන් පසු ඔවුන් මැතිවරණ ව්‍යාපාරයට අවතිරණ වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මේ අතර එම සමුළුවේදී ජාතික අපේක්ෂකයාට සහය දීමට ඔවුන් තීරණය කරනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටී. එම තීරණයට එරෙහි වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු පමණක් බවත් ඔවුන්ද බහුතරයේ තීරණය සමග පක්ෂයේ රැඳී සිටින බවත් වැඩිදුරටත් එම වාර්තා සඳහන් කර සිටී.
මේ අතර අද දිනයේදී ජාතික අපේක්ෂකයා නම් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුළද ප්‍රබල සටනක් දියත් කිරීමට සූදානමින් සිටින බව සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන කණ්ඩායම පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සුවිශේෂී තීන්දුවක් ගැනීමට නියමිත බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව සිදු කිරීමට එජාපයේ ඉහළ පෙළ කණ්ඩායමක් අතර සිදුවූ සාකච්ඡාවකදී තීරණය වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. නමුත් පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයේදී නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුමත කෙරෙන වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයින් පිරිසක් රහසේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවී සහය පළ කර තිබෙන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ නමුත් රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ පක්ෂයක් එජාප සන්ධානයට යොදා ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ බහුතරයක් සිය විරෝධතාවය ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසු එක් පාර්ශවයක් අනිවාර්යෙන්ම වෙනම තරඟ කිරීමට හෝ විපක්ෂයේ අපේක්ෂකයාට සහය දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 වැනිදා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔවුන් පක්ෂයක් ලෙස නොව සන්ධානයක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු ප්‍රකාශ කර සිටී.
ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන හා වාමාංෂික දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩ නැගෙන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා නම් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. මේ අතර එම ජනාධිපති අපේක්ෂකයාගේ පළමු ජන රැළිය ගාලු මුවදොර පැවැත්වීමටත් එය පොදු ජන පෙරමුණ පැවැත්වූ රැළියට සහභාගී වූ පිරිසටත් වඩා පිරිසක සහභාගීත්වයෙන් පැවැත්වීමටත් ඔවුන් තීරණය කර ඇති බවද වාර්තා වේ.
මතු සම්බන්ධයි….
