Main Stories

විධායකය අහෝසි කිරීම රනිල්ගේ යෝජනාවක් බවට මෛත්‍රී සාක්ෂි පෙන්වයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට හදිසි කැබිනට් හමුවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ අයිතිකාරයෙකු නැති යෝජනාවක් ඉදිරිපත් වීමත් සිදුවිය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය රවී කරුණානායක තමන්ට දුරකතනයෙන් කතා කර විධායකය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් හමුවක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දුන් බව පැවසූ බවයි. නමුත් එවැනි යෝජනාවක් සිදුකළ යුත්තේ අගමැතිවරයා තමන්ට ඍජුව කතා කිරීමෙන් බව ජනාධිපතිවරයා පැවසූ බවද ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ අදාළ කැබිනට් හමුව ජනාධිපතිවරයාගේ වුවමනාව මත සිදුවූවක් බවයි. තමන්ටද සිවිල් සංවිධානවලින් අදාළ යෝජනාව ලැබී තිබුණ බවද ඔහු ප්‍රකාශ කලේය.

ඉන්පසු ජනාධිපතිවරයා විසින් නැවතත් ප්‍රකාශ කලේ තමන්ට රවී කරුණානායක කළ දැනුම් දීම ප්‍රකාරව රනිල් වික්‍රමසිංහට දුරකතනයෙන් අමතා ඔහුගේ වුවමනාව පිළිබඳ විමසූ බවයි. එවිට ඔහුගේ ඉල්ලීම මත අදාළ කැබිනට් හමුව රැස් කෙරී තිබෙන බවත් ජනාධිපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.

නැවතත් අගමැතිවරයා නිවේදනයක් මගින් මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද්දක් බව පවසා තිබුණා.

ඒ අනුව යම් අයෙකු විසින් අගමැතිවරයා විසින් සිය අත්සන සහිතව සකස් කළ විධායකය අහෝසි කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව මාධ්‍යට නිකුත් කර තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි අදාළ ලියැවිල්ල මාධ්‍යයට නිකුත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු විසින් බවයි.

එම ලියැවිල්ල ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතාද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ. ඒ අනුව විධායකය අහෝසි කිරීමේ කැබිනට් හමුව පිටුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව පෙනෙන්නට තිබේ.

නමුත් ආරංචි මාර්ග පවසන පරිදි ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ. ඒ ඔහු හා අගමැතිවරයා අතරත් රවී කරුණානායක මහතා අතරත් සිදුවූ දුරකථන සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමට අවසර ඉල්ලා තිබීමකි. නමුත් ජනාධිපතිවරයා විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර එය සදාචාරසම්පන්න නොවන බව කියා තිබේ.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අභියෝග කළහොත් දුරකථන සංවාදය මාධ්‍යට හෙළි කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙසද ජනාධිපතිවරයාගෙන් අදාළ නිලධාරීන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top