එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා තීන්දු කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් මෙම 26 වැනිදා පෙරවරුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වෙයි.
ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති අතර එහිදී අපේක්ෂකයා තෝරාපත් කරගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඡන්දයක් විමසීමට හැකිවන ආකාරයටද සිරිකොත මන්දිරය මේ වන විටත් සකස් කෙරෙමින් පවතී.
එකසත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9-1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කරනු ලබන නාමයෝජනා කමිටුවක් විසින් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දිය යුතු බව සාමාන්‍ය ක්‍රමවේදය වුවත් 26වැනිදා තත්වය ඊට වඩා වෙනස් වනු ඇති බවට ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කරන නාමයෝජනා මණ්ඩලය පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම් දීම සම්ප‍්‍රදාය වේ. එහිදී සියලු දෙනා බලාපොරොත්තුවන අපේක්ෂකයා නම් වුවහොත් ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය නොවන අතර එසේ නොවුනහොත් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම සිදුවේ.
එසේ ඡන්දයක් පැවැත්වුනහොත් එය භාරව කටයුතු කළ යුත්තේ පක්ෂයේ මහලේකම්වරයයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල් විරාජ් කාරියවසම් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බොහෝ සෙයින් හිතවත් වීම මත පක්ෂ සභාපති කබීර් හෂීම් හා අකිල් විරාජ් කාරියවසම් යන දෙදෙනාගේම ප්‍රධානත්වයෙන් එම ඡන්දය පැවැත්විය යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ ආරංචි මාර්ග පවසන පරිදි දැනටම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතා දිනාගෙන තිබෙන තත්වයක් තුළ එදිනට සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා වශයෙන් නම් වීමක් සිදු නොවුනොත් ඔවුන් පක්ෂයේ නිලධාරී මණ්ඩලය නැවත පත් කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද සූදානමින් සිටී.
