- දිල්රුක්ෂිට එරෙහිව රාජ්‍ය සේවා කොමිසමට නීතිපති ලිඛිතව පැමිණිලි කරයි
- සොලිසිටර් ජනරාල්ධූරයේ වැඩ බැලීමට සංජය රාජරත්නම් පත් කරයි
ඇවන්ට්ගාඞ් නඩුවේ විත්තිකරුවකු වන ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකථන සංවාදයක යෙදුණු බවට පිළිගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව ඉතා ඉක්මණින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කර තිබුණි.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිසමෙන් සිදුකළ මූලික විමර්ශනයෙන් අනතුරුව ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ බව අද රාජ්‍ය සේවා කොමිසම විසින් නීතිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී තිබෙන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ.
ඇය මෙතෙක් දැරූ සොලිසිටර් ජනරාල් ධුරයේ නිල රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා තාවකාලිකව පත්කිරීමට නීතිපතිවරයා මේ වන විටත් පියවර ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.
