එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස බීබීසියට පවසා තිබෙනවා.
ඔහු කියා ඇත්තේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය දීම සඳහා කොන්දේසි පනවා ඇති බව තමන් නොදන්නා බවයි. එවැනි කොන්දේසිවලට තමන් කිසිවිටෙක එකඟ නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.
කොන්දේසි කිහිපයකට එකඟවීමට යටත්ව සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (24) රැස්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ටයින්ගේ සාකච්ඡාවකදී එකඟවූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම, ජාතික ගැටලුවට විසඳීමට නව ව්‍යවස්ථාවක්, අගමැති ධුරයේ සහ එජාප නායකත්වයේ රනිල් වික්‍රමසිංහ සිටීම, රවී කරුණානායක පක්ෂ උපනායක සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගැනීම යන කොන්දේසි මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමට එලෙස එකඟ වී තිබෙනවා.
මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගිවී නොසිටි නමුත් ඔහුගේ පාර්ශවය නියෝජනය කරමින් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ අගමැතිධූරය පිළිබඳව මැතිවරණ ව්‍යාපාරය තුළ දී සාකච්ඡා කිරීම පවා නොකළ යුත්තක් බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පෙරමුණ වශයෙන් නැවත සාකච්ඡා කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා. බලය බෙදීම, විධායකය අහෝසි කිරීම වැනි කරුණු පිළිබඳ පක්ෂය තුළත් චම්පික රණවක අමාත්‍යවරයා ඇතුළු පාර්ශව වලත් විවිධ අදහස් ඇති බවත් ඒවාටද ඇහුම්කන් දිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිය බව ඔහු ප්‍රකාශ කළා.
අදාළ කරුණු සම්බන්ධයෙන් එජාප නායකත්වය දැනුවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
