2019 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස නම් කිරීම ඊයේ (26) සවස පවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදුවිය. ඔවුන් හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටද තීරණය කර ඇති බව ද දැන්වීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් මාසයකට පමණ පෙරදීය.
නමුත් මේ වන තෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය තීරණය දැනුම් දී නැත. ජනාධිපතිවරයා පසුගිය දිනෙක මාතලේ ශ්‍රීලනිප සමුළුවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේ තමන්ට එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති බවයි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම බොහෝ දුරට සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නම් කිරීමද ජනාධිපතිවරණය කැඳවීමටත් පෙර සිදුවිය. ඒ වටා බොහෝ සිවිල් සංවිධානද පෙළ ගැසී සිටී.
මීට අමතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ඉදිරිපත් වන බවද ප්‍රකාශයට පත් කර තිබේ. රොහාන් පල්ලෙවත්ත, මහේෂ් සේනානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ ජාතික ජනතා ව්‍යාපාරයද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටී.
