පසුගිය කාලයේ දේශපාලන චෞරයින් විසින් මහ බැංකුව කොල්ලකද්දී, මැතිවරණ සිතියම හකුලා මැතිවරණ නොපවත්වා කටයුතු කරද්දී රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණද්දී, සහරාන් වැනි අන්තවාදීන් නැගිට අහිංසක පුරවැසියන් ඝාතනය කරද්දී මළ මිනී සේ නිහඬව සිටි එන්.ජී. ඕ කණ්ඩායම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට පිවිසෙද්දී නැවත සොහොන් වලින් මතුවන්න පටන්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
පිටකෝට්ටේ වියත්මග කාර්යාලයේදී ඊයේ (2දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ අධිකරණ කටයුත්තක් අභියාචනාධිකරණයේ විභාග වෙනවා. එ.ජා.ප.යේ ජනාධිපති අපේක්‍ෂක සජිත්, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු සියලූදෙනාගේ දේශපාලන අවශ්‍යතාවයක් උඩ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් දෙදෙනෙක් මේ අධිකරණ කටයුත්ත සිදුකිරීමට දායකවී තිබෙන්නේ. එම නඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ අත්දැකීම් බහුල විශිෂ්ට නීතිඥ කණ්ඩායමක්. එම නීතිඥ කණ්ඩායම කිසිදු චකිතයකින් තොරව අපට තහවුරු කළේ මෙම එන්. ජී. ඕ නායකයින් විසින් කරපු පැමිණිල්ල කිසිලෙසකින්වත් සාධාරණ නොවන එකක් බවයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීම සඳහා ඉදිරිපත් කළ සියලූ ලිපි ලේඛන, ඔහු ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත්ව ලංකාවේ පුරවැසිභාවය නැවත ලබාගැනීම, ශ‍්‍රී ලාංකිකයකු වශයෙන් ගුවන් ගමන් බලපත‍්‍රයක් නැවත ලබාගැනීම ජාතික හැඳුනුම්පත ලබාගැනීම සියයට සීයක්ම තාක්‍ෂණිකව නිවැරදියි. නීත්‍යානුකූලයි. ව්‍යවස්ථානුකූල බවයි අපේ නීතිඥ කණ්ඩායම ප‍්‍රකාශ කළේ.
එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන එන්. ජී. ඕ කණ්ඩායම වෙනුවෙන් කටයුතු කරන්නේ සුමන්දිරන් ඇතුළු කණ්ඩායමක්.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකන් පුරවැසිභාවය ලබාගන්නේ 2003 වසරේදී. ඔහු ඇමරිකන් පුරවැසිභාවයෙන් 2005 වසරේදී ඉවත්ව නැවත ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ලැබීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය ලබනවා. ඒ අනුව ඔහු ශ‍්‍රී ලංකා පුරවැසිභාවයෙන් ඉවත්ව ඉඳල තියෙන්නේ වසර දෙකයි. අවුරුදු 68 ක්ම ඔහු ශ‍්‍රී ලංකා පුරවැසියෙක්.
ආවේ ජනාධිපතිවරණයට තරග කිරීමකට නොවෙයි. ඔහු 2005 වසරේදී මේ රටට ආවේ මේ රටේ විධායක ජනාධිපතිවරු තිදෙනෙක් අපොහොසත් වූ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමටයි. ඔහු ඒ භාරදූර කටයුත්තේ සම්පූර්ණ වගකීම භාරගත්තා.
අපි විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධ වන්න. ඒක ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් ඔහුට අපහාස කරන්න එපා. මොකද ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ දරුවන් වෙනුවෙන් නිදහස් රටක් නිර්මාණය කිරීමට දායක වූ කෙනෙක්.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරෙන එන්. ජී. ඕ. තර්කය නිවැරදි නම් 2005 ඔහු ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් නොවේ නම් මේ රටේ ආරක්‍ෂක ලේකම් වශයෙන් ගනු ලැබූ සියලූ තීන්දු නීති විරෝධීයි කියන කාරණයද මේ කියන්න හදන්නේ. මේ යන්න හදන්නේ වෙන තැනකටද? යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරීමට අවශ්‍ය සාධක නොමැතිව සිටින කණ්ඩායමක් ඩොලර්වලට තමන්ගේ මතවාදය විකුණන කණ්ඩායමක් මේ යන්නේ වෙන ගමනක්ද යන ප‍්‍රශ්නය අපි සමාජයට භාර කරනවා.
එන්. ජී. ඕ කණ්ඩායම් කියන විදිහට යම් ලෙසකින් ඔහු නීත්‍යානුකූල පුරවැසි භාවය ලබාගෙන නැත්නම් ආරක්‍ෂක ලේකම් ලෙස ඔහු ගනු ලැබූ තීන්දු නීතිවිරෝධියි කියන කාරණයයි. ඒ නිසා මේ සැරසෙන්නේ වෙනතැනකටද කියන කාරණය අප තේරුම් ගතයුතුයි.
මේ ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන ප‍්‍රතිවාදියාට මුහුණදෙන්න බැරිව කකුල් මාට්ටුවක් දැමීමක්ද යන්න කාරණයත් තේරුම් ගතයුතුයි. මළ මිනී සේ නිහඬව සිටි මේ රාජ්‍ය නොවන කණ්ඩායම පසුගිය කාලේ දේශපාලන චෞරයින් විසින් මහ බැංකුව කොල්ලකද්දී, මැතිවරණ සිතියම හකුලා මැතිවරණ නොපවත්වා කටයුතු කරද්දී, සහරාන් වැනි අන්තවාදීන් නැගිටලා මේ රටේ පුරවැසියන් සිය ගණනක් ඝාතනය කරද්දී, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විදේශිකයන් සතු කරද්දී, විදේශීය රාජ්‍යයන් සමඟ රටට අහිතකර ගිවිසුම් වලට ඇතුළත් වෙද්දී කොහෙද හිටියේ. ගෝඨාභය මහතා ජනාධිපතිවරණයට පිවිසෙද්දී මේ එන්.ජී. ඕ කණ්ඩායම් සොහොනෙන් මතුවන්නේ ඇයි. මේකට හේතුව මොකද්ද?
හිටපු සොලිසිටර් ජනරාල් විදියටත්, වින්දිතයින් සම්බන්ධ කොමිසමේ සභාපති විදියටත් සුහද ගම්ලත් මහතා අනාවරණය කරපු කරුණු වගේම වර්තමාන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය අනාවරණය කරපු දේවල් ඔබ දන්නවා. මේ කාරණාම අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාත් ප‍්‍රකාශ කළා. නඩුවලට පටලවලා බොරු චෝදනා නගලා, අත්අඩංගුවට ගන්න නඩු පවරන්න කිව්වාම. එවැන්නක් කළ නොහැකි බවට නීතිමය තත්ත්වය පෙන්වා දුන්නාම තමන්ගේ අධිකරණ ඇමැතිකම නැති කළා කියලා එතුමා කිව්වා. මේ සියලූ දේ එකට සම්පිණ්ඩනය කළාම පේන්නේ අරලියගහ මන්දිරයේදී නීතියේ දෙවඟන සමූහ දූෂණයකට ලක්ව තිබෙන බවයි.
අධිකරණ ආයතන ඇතුලේ සෘජු නිලධාරීන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් අපිට ආඩම්බර වෙන්න පුලූවන් මේ පද්ධතිවල යුක්තිය පසිඳලන්න කැපවුනු විනිසුරුවන්ගෙන් බහුල වීම අපට සැනසීමට කාරණයක්. රටේ ජනතාව මේ අවස්ථාවේ වික්‍ෂිප්තව සිටිනවා. අපි හෘදයාංගමව කියන්නේ රටේ නීතිය ගැන විශ්වාසය තියන්න කියලයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
පසුගිය කාලයේ අල්ලස් විමර්ශන කොමිෂමේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කළ දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය විසින් කරන ලද දුරකථන සංවාදයේ, මේ රටේ පසුගිය කාලයේ ගොනුකළ නඩු හා ගොනු කරන්න උත්සාහ කරන නඩු සම්බන්ධයෙන් ඔබට වටහා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුහද ගම්ලත් මහතාට කළ බලපෑම් කි‍්‍රයාවට නැංවීම ඔහු ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා මුහුණ දෙන්න වුණු කරුණුත් සඳහන් කර තිබෙනවා.
වර්තමානයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂකත්වය හා ඔහු තරග බිමට ඒමට ප‍්‍රතිවිරුද්ධවාදීන් විදියට තරගයට එන කණ්ඩායම් වලට කුමනාකාරයේ භීතිකාවක් තිබෙනවාද? පසුගිය මාසයේ අපරාධ කොට්ඨාසය මහෙස්ත‍්‍රාත්වරියගෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න නියෝගයක් ඉල්ලූවා. නීතියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය නිසා එය අසාර්ථක වුණාම දැන් දෙවැනි පියවර විදියටයි මේ ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ. සටන් බිමේ මුහුණ දෙන්න බැරි බව සක්සුදක්සේ පැහැදිලි වන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වෙන්නේ. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් එම එන්.ජී. ඕ කණ්ඩායම් හා එජාප කණ්ඩායම් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වලා තිබෙනවා. නියත ජයග‍්‍රාහී අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා දකින නිසා ඔවුන්ට වුවමනාවී තිබෙනවා ඔහු තරග බිමෙන් ඉවත් කිරීමට. තරගයට ඒමට ඔවුන්ට ඇති නොහැකියාව මෙයින් පෙනෙනවා.
අපි අධිකරණය සම්බන්ධයෙන් විශ්වාස තබනවා. විජේදාස රාජපක්‍ෂ මහතාත්, සුහද ගම්ලත් මහතාත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් තමන්ගේ තනතුරු පූජා කළා. එවැනි විශිෂ්ට විනිසුරුවන් හා අධිකරණ පද්ධතියක් සිටින නිසා අපි විශ්වාස කරනවා රටත් ජනතාවත් වෙනුවෙන් සාධාරණත්වය යුක්තිය ඉෂ්ට වෙන බව. සාධාරණ පුරවැසියන් මෙය තහවුරු නොකරන බවත් අපිට විශ්වාසයයි. අපි අධිකරණයට ඉඩ දීලා, අධිකරණය සම්බන්ධයෙන් විශ්වාසවන්ත කරමින් කටයුතු කරනවා.
ඇල්පිටිය මැතිවරණය අපි ජය ගන්න බව අපිට විශ්වාසයි. නුවර දිගන ප‍්‍රදේශයේ මේ අවස්ථාවේ වහල සෙවිලි තහඩුත්, සිමෙන්තිත් බෙදනවා. ලෑන්ඞ් මාස්ටරෙන් සිමෙන්ති කොට්ට අරන් ළඟම තිබෙන හාර්ඞ් වෙයාර් වලට සෙනග යනවාලූ. දැන් හාර්ඞ්වෙයාර් ළඟ සෙනඟ පිරිලාලූ. මෙය සෘජුව මුදල් බෙදීමකට සමානයි. මැතිවරණ කොමසාරිස් කිව්වා පෙර සිට සැලසුම් කරපු ව්‍යාපෘති නම් කමක් නැති බව. නමුත් මෙය එවැන්නක් නොවන බව තහවුරුයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාම යෝජනා භාරදීමට එරෙහිව මහාචාර්යවරු කියා ගන්නා දෙන්නෙක් පෙත්සමක් දාලා තියෙනවා. ඒ අයමයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට පැමිණිලි කළෙත්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අරන් තියෙන්නේ 2005 දී. ඒ කියන්නේ 19 වැනි සංශෝධනය එන්නත් කලින්. ප‍්‍රකාශ ලබාගන්න අත්අඩංගුවට ගන්න ඕනෙද? මේ පැමිණිලි කරලා තියෙන්නේ 2005 වසරේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සම්බන්ධයෙන්. ප‍්‍රකාශයක් ලබාගන්න අත්අඩංගුවට ගන්න ඕනේද?
අධිකරණයේදී ඇහුවා මොන වගේ අපරාධ චෝදනාවක් ගොනු කරන්නද මේ පරීක්‍ෂණය යන්නේ කියලා. ඒ පිළිබඳවවත් අවබෝධයක් නැහැ. සිවිල් ප‍්‍රශ්නයක්ද කාර්ය පටිපාටිය උල්ලංඝනය වීමක්ද කියන එක ගැනවත් අවබෝධයක් නැහැ.
මහෙස්ත‍්‍රාත් අධිකරණය පරීක්‍ෂණය ගැන බී වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක. රාජ්‍ය ආයතනවලින් ලියකියවිලි ගෙන්වා ගැනීම පමණක් සිදුව තිබෙන අවස්ථාවක, සිවිල් හෝ අපරාධ වරදක්දැයි පෙන්වාදීමේ හැකියාවක්වත් නැති අවස්ථාවක ඒ පෙත්සම්කරුවෝ දෙන්නා නාම යෝජනා භාරදීම වැළැක්වමින් තහනම් නියෝගයක් ගන්න අධිකරණයට යනවා.
ගෝඨාභය රාජපක්‍ෂ කියන ජනාධිපති අපේක්‍ෂකයා, ප‍්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන රටට ආදරය කරන රටට වැඩකරපු කෙනෙක්. ඔහුට නාමයෝජනා ලබාදීම වැළැක්වීමේ කූට චේතනාවෙන් මෙය කර තියෙන්නේ. මේ පෙත්සම්කරුවෝ දෙන්නා තමයි ගිය සැරේ එන්. ජී. ඕ නඩයක් විදියට, විදේශීය ඩොලර්වලට රට පාවා දීමේ යෙදුනේ. ඒ අයට තර්ක කරන්න ඡන්දයකුත් නැහැ. මේ කරන්නෙත් ඒ කොන්ත‍්‍රාත්තුව. ඊට වඩා විද්වතුන් අපි දැකලා තිබෙනවා.
එදා සිරිමාවෝ මැතිනියට තරගයට එන්න නොදී ප‍්‍රජා අයිතිය අහෝසි කරලයි ජේ. ආර්. ජයවර්ධන ජයගත්තේ. සජිත් පේ‍්‍රමදාසගේ තාත්තා ඡුන්ද දෙලක්‍ෂ අසූනව දහසකින් දිනුවා. ඒක භීෂණ මැතිවරණයක්. ජේවීපීය රටේ භීෂණය ඇති කළා. ඡුන්ද පොළ හිස්, නියෝජිතයෝ මැරුවා, කවුද මැරුවේ. දැන් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන අය තරගෙට භීෂණය කරන් ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා ආපු පසුගිය වතාවන් දෙකේ බැරි වුණත් තුන්වෙනි වතාවේ ජනතාව නොමග යැව්වා. දැන් ජනතාවට ඇත්ත තේරෙන නිසා ජනතාවට වරද්දන්න බැහැ. ඒ නිසා අපේක්‍ෂකයා වළක්වා ගන්න උත්සාහ කරනවා. අපි නීතියට ගරු කරනවා. අධිකරණය පිළිබඳ විශ්වාසය අපට තිබෙනවා.
හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැහැදිලිව කියනවා නීතිපති දෙපාර්තමේන්තුවට අර්ධ අධිකරණමය බලයක් තිබෙන බව. දෙපාර්තමේන්තුවට පුළුවන් චූදිතයෙක්ට අධි චෝදනා ගේන්න ප‍්‍රමාණවත් කරුණු තියෙනවාද බලනවා. චෝදනා නැහැ කියලා නිදහස් කිරීමේ බලයත් තියෙනවා. එවැනි බලයක් තියෙන තැනක නිලධාරීන් මොනතරම් පාරිශුද්ධ වෙන්නෙ ඕනේද? දිල්රුක්‍ෂි ඩයස් ගේ අදහසට අනුව කුණු දේශපාලනය නිසයි එහෙම වුණේ.
අනුර බාලසූරිය
