ගෝඨාභයට නඩු පවරන බවට රාජිත කළ ප්‍රකාශයට ජවිපෙන් සැර පිළිතුරක්

“‍ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය” සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී නඩු පැවරීමට සූදානමින් සිටින බවට ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ එජාපය මෙන් මැතිවරණ මගහැර වෙනත් උපක්‍රම භාවිතා කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බවයි. රාජති සේනාරත්නගේ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා හිතාමතාම සැළසුම් සහගත සිදුකළ ප්‍රකාශයක් බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා අද (06) මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සහගතව කරන ලද නිහීන උත්සාහයක් ය.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක්ය.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දනියි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය. ඒ සියලුදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

ස්තූතියි,
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
විජිත හේරත්,
ප්‍රචාරක ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ.
2019.10.06.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *