විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය, මහාමාර්ග සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවලින් බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350ක පමණ මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1100ක පමණ මුලක් ද මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අමාත්‍යාංශවලින් ඉකුත් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මෙම බිල්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රජයේ අපේක්ෂිත ආදායම් නොලැබීමත්, ණය සීමාවන් ඉක්මවා යාමත් හේතුවෙන් රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මැයි මාසයේ දී චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබිණි.
මීට අමතරව පසුගිය මාසයේදීත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් තවත් සියයට 10කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් උපදෙස් දුන්නේය.
-අජන්ත කුමාර අගලකඩ
