ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති නීතිඥ රසික් සාරුක් ඊයේ (24) ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති මත දේශපාලනය කරද්දී ඇතැම් පිරිස් ඔහුට අවලා ද නගමින් මඩ ප්‍රහාර එල්ල කරන බව ද ඔහු පැවැසීය.
පිරිසක් නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරන අතර කැලිෆෝනියා අධිකරණය දුන් තීන්දුව වැරැදි ලෙස පරිවර්තනය කර ඇති බව ද රසික් සාරුක් මහතා සඳහන් කළේය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව පැවැසීය.
ආරම්භයේ සිටම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම වැළැක්වීමට විවිධ පාර්ශව විවිධ ක්‍රියාමාර්ග ගත් බව ද ඔහුට එරෙහිව නඩු කිහිපයක් ඉදිරිපත් කෙරුණු අතර ඒ නඩු බොහෝමයක් ඉදිරිපත් කෙරුණේ අයහපත් අරමුණුවලින් යැයි ද ඔහු කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයේ නිරත වීම වැළැක්වීම බොහෝ දෙනකුගේ අරමුණ වී තිබූ බව ද ඔහු කීවේය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයක මෙම නඩුව ගොනු කර ඇත්තේ ද වික්‍රමතුංග මහතා මියගොස් වසර දහයකට පසුව බව ද හෙතෙම කීවේය.
අදාළ නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව දන්වමින් කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණය නඩුව නිශ්ප්‍රභ කර ඇති බව ද ඔහු කීය. නඩුව විභාග කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වරදක් කර නැති බව හොඳින්ම පැහැදිලි වන බව ද ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා කීය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහතා අදහස් දක්වමින් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම කිසිසේත් අනුමත නොකරන බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් වැරැදි නොකළ පුද්ගලයකුට අසත්‍ය චෝදනා එල්ල කිරීමට ඉඩ නොදිය යුතු බවත් කීය.
යම් පිරිසක් ලසන්ත විකුමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග රවටා ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා පැවැසීය.
ඇතැම් කණ්ඩායම් සිය පටු දේශපාලන අරමුණු උදෙසා කැලිෆෝනියේ අධිකරණය දුන් නඩු තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් බොරු ව්‍යාප්ත කරමින් සිටින බව මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා කීවේය.
