Main Stories

චම්පිකට ඇප, හිරගෙවල්වලින් තම ගමන නවතන්න බැරි බව චම්පික කියයි

ඇප ලැබීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ප්‍රකාශ කළේ හිරගෙවල්වලින් තම ගමන නැවතිය නොහැකි බවයි. යහපාලන රජය නිර්මාණය කළ ස්වාධීන පොලීසිය හා ස්වාධීන අධිකරණය පිළිබඳ සතුටුවන බවත් යම් පිරිසක් එය ආපසු හැරවීමට කටයුතු කිරීම පිළිබඳ කණගාටුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

චම්පිකට ඇප

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය (දෙසැම්බර් 24) නියම කළේය.

ඒ අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත් වරිය සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියම කළේය. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහෙස්ත්‍රාත් විසින් කළ ඇප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් ලබාදී නොමැති බවයි. සැකකරු විසින් සිදුකළ රිය අනතුර තුළින් රජයේ දෙපළක් වන ජීප් රථයකට (KT -7545) රුපියල් 917,244/-  ක අලාභයක් සිදුව ඇති බවට සඳහන් කරමින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තාකර තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව පොලිසිය විසින් මෙම නඩුවට අදාළ බී වාර්තාවට පොදු දේපල පනත ඇතුලත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය නියෝග පෙන්වා දුන්නේය.

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හෙයින් සැකකාර චම්පික රණවක මහතා ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාත්වරිය ගේ නියෝගයේ සඳහන් කළේය.

රියදුරු බව කියූ තුසිත කුමාර රිමාන්ඩ්

මේ අතර අධිකරණයට (දෙසැම්බර් 24) ඉදිරිපත් වූ චම්පික රණවක සිදුවීමේදී රියදුරු ලෙස ඉදිරිපත් කළ තුසිත කුමාර නැමැත්තා 2020 ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

චම්පික දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 19 දින නියෝග කළේය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව චම්පික රණවක මහතා විසින් අධිකරණය නොමග යවා ඇති බවයි.

හිටපු අමාත්‍ය චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය දෙසැම්බර් 18 වැනිදා රාත්‍රියේ අත් අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරනු ලැබුවා. ඉන් අනතුරු එදින රාත්‍රියේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යවරයා 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගත ගත කරනු ලැබුවා.

ඒ 2016 වසරේදී “රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් අනතුරකට ලක් කිරීමේ” සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු වූ බව නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසීය.

ඊට අදාළ චෝදනා වූයේ “නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම” බව සඳහන් විය.

දෙසැම්බර් 19 වැනිදා රජය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වීම සිදුකළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ය. හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.

සිදුවීම

2016 පෙබරවාරි 28 වනදා KT -7545 අංක හහඩුව සහිත විදුලිබල අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්, යතුරු පැදියක් සමඟ ගැටී රාජගිරිය ප්‍රදේශයේදී අනතුරක් සිදුව ඇති බවත් එහිදී යතුරු පැදියේ පසුපස ගමන්ගත් තරුණයා ජීප් රථයට ඉදිරියෙන් විසිවී ගොස් මාර්ගයේ වැටී තිබූ අතර යතුරු පැදිය පැදවූ සංදීප් ගුණවර්ධන නම් තරුණයා එම ස්ථානයේම ඇද වැටී තිබූ බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

එහිදී රජයට අයත් ජීප් රථය පැදවූ රියදුරු, සිය පැති වීදුරුව පහත් කොට ඇද වැටී සිටි තරුණයින් දෙස බලා ඒ මොහොතේම රථයෙන් පලා යාමට තැත් කොට ඇති අතර එය “HIT AND RUN” නොහොත් අනතුරක් සිදුකර පළායාමක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය.

නමුත් එම මොහොතේදී අනතුරට පත් යතුරු පැදිය සමඟම තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙක් ජීප් රථය ලුහුබැඳ ඇති බවත් එම රථය වේගයෙන් රාජගිරිය සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිස රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දෙසට ධාවනය වෙමින් තිබියදී ජීප් රථය හරස් කොට නවත්වා ගැනීමට එම තරුණයින් දෙදෙනා සමත් වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , එහීදී එක් තරුණයෙක් ජීප් රථයේ ඉදිරිපස වම් දොර විවෘත කිරීමත් සමඟම , රාත්‍රී 9.30ත් පසුවී තිබූ මොහොතක “අවු කණ්නාඩි” පැලඳ සිටි රියදුරා “මම අමාත්‍ය පාඨලී චම්පික රණවක යනුවෙන්” තමා හඳුන්වා දී, අවශ්‍යනම් බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස තරුණයින්ට පවසා ඇති බවයි.

එම අවස්ථාවේදී තරුණයින් දෙදෙනා මුහුණවරින් ඔහු හඳුනාගත්තද අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ රියදුරා වම්පස දොර විවෘතව තිබියදීම රථය යළිත් වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් පලාගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙවැනි පසුබිමක “තුසිත කුමාර” නැමැත්තෙක් සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොරැල්ල පොලිසීයට ඉදිරිපත් වී තිබූ බවත් බොරැල්ල පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

නමුත් රිය අනතුර සිදුවූ ස්ථානය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ වැලිකඩ පොලිස් ස්ථානය වන බැවින් තුසිත කුමාර නැමැත්තාව පසුව වැලිකඩ පොලීසියට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත තරුණයින්ට වඩා පොලිසිය වැඩි උනන්දුවකින් කටයුතු කර ඇත්තේ ඉදිරිපත්වූ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බවටද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රථවාහන අධිකරණයේ විභාග වී අවසන් වූ නඩුවට වැලිකඩ පොලිසිය ඉදිරිපත් කළ ප්‍රකාශ වල සඳහන් වන්නේ “වාහනය පැදවූයේ පාඨලී චම්පික රණවකගේ රියදුරා” වන බවද දිලිප පිරීස් මහතා පෙන්වා දුන්නේය.

නමුත් ඒ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් කොස්තාපල්වරයාගෙන් මෙම විමර්ශනයට අදාළව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමාට ඉහළ නිලධාරියෙක් වන ලක්මාල් නැමැති නිලධාරියාගේ උපදෙස් මත පාඨලී චම්පික රණවක මහතාගේ නම ප්‍රකාශවල සටහන් නොකර සිටි බව ඔහු පිළිගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ලක්මාල් නැමැති නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැලිකඩ රථවාහන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි තමා එසේ කළ බව ඔහු පැවසූ බවත්, රථවාහන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කටයුතු කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති “අස්මන්ත” නැමැති නිලධාරියාගේ උපදෙස් පරිදි වන බවත් අනාවරණ වී ඇතැයි අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

එමෙන්ම රියදුරා බව පවසමින් ඉදිරිපත් වූ රියදුරාගේ දුරකථන සංඥා ඇතුළු පරිවේශනීය සාක්ෂි කිසිවක් සිදුවීම සමග නොගැළපෙන අතර සිදුවීමට ගැළපෙන්නේ පාඨලී චම්පික රණවකගේ දුරකථන සංඥා වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය. එදිනම රියදුරු ලෙස ඉදිරිපත් වූ තැනැත්තා වෙනත් මාර්ගයක ගමන් කර ඇති බවද දුරකතන සංඥා තහවුරු කරන බව ද අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අතර සඳහන්.

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි යනුවෙන් පොලිස් ලාංඡනයේ ලියා ශරීරයේ පැළඳගෙන සිටි පමණින් ධර්මය සුරැකෙන්නේ නොමැති බව පොලිසිය අවබෝධ කරගතයුතු බවත් මෙම ක්‍රියාව දේශපාලන බලය සහ ධන බලය යොදාගෙන සිදුකරන ලද ඉතාම බරපතල ගණයේ ක්‍රියාවක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පවසා සිටියේය.

වැලිකඩ පොලිසිය සිද්ධිය ඇසින් දුටු අයගේ ප්‍රකාශ විකෘති කරමින් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වී ඇති අතර එවකට කොළඹ දිසාව භාරව සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයද විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර ඔහුවත් ඉදිරියේදී මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන බවද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ සිය දේශපාලන බලය භාවිත කරමින් නීතිය නැවීමට කටයුතු කිරීමට නොහැකි බව මෙවැනි තනතුරු දරන්නන්ට ප්‍රබල පණිවිඩයක් සමාජගත කිරීමට අවශ්‍ය බැවින් මූලික විමර්ශන සිදුවන මේ අවස්ථාව සැකකරුට ඇප ලබාදීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බවයි. ඒ අනුව සැකකරුට ඇප ලබා දීමට නීතිපතිවරයා සහමුලින්ම විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම අයුතු අධම ක්‍රියාදාමය වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බවත් නිල ඇඳුමින් මෙම ක්‍රියාවට හවුල්වූවන්ටද දැඩි දඩුවම් ලබාදිය යුතු හෙයින් පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය.

කෙසේවෙතත් අත්අඩංගුවට පත් පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවසුවේ තම සේවාදායකයාට එරෙහිව ඇති චෝදනා කිසිවක් ඇප පනත අනුව ඇප ලබාදීමට නොහැකි චෝදනා නොවන බවයි.

ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබාදීමට නොහැකි චෝදනා තම සේවාදායකයාට එරෙහිව ඇත්නම් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමාද විරුද්ධ නොවන බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.

එවැනි චෝදනා කිසිවක් ඔහුට නොමැති බැවින් ඔහුට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටි අතර ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම නීතී කරුණු රැසක් ඉදිරිපත් වූ බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකිරීමට අධිකරණයට සිදුවන බවයි.

මෙහිදී අදාළ නඩුව පොදු දේපළ පනත යටතේ පවත්වාගෙන යන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එවැනි තීරණයක් තවම ගෙන නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි.

ඒ අනුව විමර්ශන මුල් අවස්ථාවේ පැවතීම හේතුවෙන් සැකකරු දෙසැම්බර් මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය මීලඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

-rivira.lk ඇසුරින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top