පසුගිය රජය යටතේ අධික කුලියක් ගෙවා ලබාගත් කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේ එක් අමාත්‍යංශයක ගොඩනැගිල්ලක් වෙනුවෙන් එතරම් විශාල කුලී මුදලක් දැරීම හේතුවෙනි. නමුත් දේශය පුවත්පත හෙළිදරව් කර සිටින්නේ එම බිල්ඩිමට අමතරව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහාද රුපියල් කෝටි 31ක් ගෙවා රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබීම ගැනයි.
සිනෝ – ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගමෙන් කුලියට ගත් මෙම ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකි (රු.12,700,000). වර්ග අඩි දහ අටදහසක්(18000) පමණ ඇති බව කියන මෙම කුලී ගොඩනැගිල්ලේ මාසික විදුලි බිල රුපියල් අට ලක්ෂ පනස් දහසක් පමණ වන බවද වාර්තා වේ.
පසුගිය රජයේ ප්‍රාදේශීය සංවර්ධන විෂය භාර අමාත්‍යවරයාව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ වර්ෂ 2016 සිට 2021 දක්වා වසර 5කටය. ගොඩනැගිල්ල මෙතරම් මුදලක් ගෙවා කුලියට ගැනීම සඳහා එකල පැවති යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබූ බවද එම පුවත්පත වාර්තා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, ඒ සඳහා සරත් ෆොන්සේකා පත් කිරීමට එජාපය තීරණය කරන ලදී. 2016 පෙබරවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවට එජාප ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 5238ක් ලබා පරාජයට පත්විය. 2016 පෙබරවාරි 25 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා පත් කරන ලදී.
2018 මැයි මාසය දක්වා ඔහු එම අමාත්‍යංශයේ කටයුතු කර තිබේ.
නව රජය බලයට පත් වීමත් සමග පෞද්ගලික ගොඩනැගිලිවල ඇති අමාත්‍යංශ රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාමට තීරණය කිරීමත් සමග මෙවැනි පෞද්ගලික ගොඩනැගිලි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි “සත්දින”ට වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් “අනිද්දා” පුවත්පත්පතේ වාර්තාවක දැක්වෙන්නේ 2018 වර්ෂයේදී සරත් ෆොන්සේකාට වනජීවී අමාත්‍යංශය ලැබුණු පසු සෙත්සිරිපායේ තිබුණු වනජීවී අමාත්‍යංශයද රාජගිරිය කුලී ගොඩනැගිල්ලට ගෙන යාමට සරත් ෆොන්සේකා තීරණය කර තිබූ බවයි.
කෙසේ නමුත් මෙම කුලියට ගැනීමේ ක්‍රියාවලියට කැබිනට් අනුමැතියක් තිබීම හේතුවෙන් මෙම සිදුවීමට පසුගිය රජයම වගකිව යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එහි එක් පාර්ශවයක් පමණි.
