2020 මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවයට ජයග්‍රහණය ලැබුණත් කිසිසේත් 2/3ක් ලබාදීමට ජනතාව කටයුතු නොකරනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පෙබරවාරි 23 දින පැවති ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සමුළුවේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ භූමිකාව කිසිසේත් කළ නොහැකි බවයි.
වසර 20කට අධික කාලයක් පක්ෂය තුළ කුලල් කාගනිමින් සිටින පක්ෂයකට විපක්ෂයේ භූමිකාව කිසිසේත් ඉටු කළ නොහැකි බවත් ඔවුන්ගේ දේශපාලනය ජනතාව ද දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළා.
මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවය අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බව පැවසූ අනුර කුමාර දිසානායක කියා සිටියේ ඔවුන්ට 2/3ක බලයක් ජනතාව විසින් ලබානොදෙන බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවට පත්වුවහොත් මහින්ද රාජපක්ෂ ඔවුන් ආණ්ඩුවට එක් කරගනිමින් 2/3ක් ලබාගන්නා බවද ඔහු සඳහන් කළා. එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් දැනටමත් ආණ්ඩුවට එක්වීම සඳහා ඉල්ලීම් කර ඇති බවත් එහිදී ඉදිරි මහමැතිවරණයේදී නාම යෝජනා ලබා දීමට ඉඩ නොමැති වීම නිසා එම මන්ත්‍රීවරුන්ට එජාපයෙන්ම ඉල්ලා මන්ත්‍රීධූරයත් රැගෙන පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ පවසා ඇති බව අනුර කුමාර දිසානායක හෙළි කර සිටියා. ඔහු කියා සිටියේ “ඡන්දෙන් දිනලා මන්ත්‍රීකමත් අරගෙනම එන්න වජිර” ලෙසද පවසා ඇති බවයි.
එබැවින් එම තත්වය වළක්වා ශක්තිමත් විපක්ෂයක් පත් කර ගත යුතු බව අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඒ සඳහා ජාතික ජන බලවේගය එකම තෝරා ගැනීම විය යුතු බවද ඔහු සඳහන් කළා.
Rivira
