Main Stories

විශ්‍රාම වැටුප වසර 4න් දෙන්න – මන්ත්‍රීන් කතානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතු වුවද එය වසර හතර දක්වා අඩු කරන ලෙස හිටපු මන්තී‍්‍රවරුන් රැසක් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ‍්‍රාම වැටුප හිමි විය යුතු කාලය ද වසර පහේ සිට වසර හතර දක්වා අඩු විය යුතු බවට මන්ත‍්‍රීවරුන්ගේ යෝජනාව වී තිබේ.

කෙසේ වෙතත් ඊට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි ද එහෙත් එම යෝජනාව ඉදිරියේදී ගෙන ඒමට දැනට යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර වත්මන් පාර්ලිමේන්තුව මාර්තු 02 දා විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වේ.

ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයකු පැවසීය.

මීට අමතරව පසුගියදා ඉල්ලා අස්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතාට ද විශ‍්‍රාම වැටුප අහිමි වේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාම වැටුප වශයෙන් හිමිවනුයේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප‍්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍රවරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54000 ක මුදලකි. ඊට අමතරව වත්මන් කථානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව ලෙස රුපියල් 25000 ක්ද ලබා දෙනු ලැබේ.

ඒ අනුව වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18000 ක් සහ 25000 ක් එකතුව රුපියල් 43000ක මුදලක් විශ‍්‍රාම වැටුප ලෙස මන්තී‍්‍රවරයකුට හිමිවනු ඇත.

ඒ අනුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 ක් සඳහා මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවනු ඇත.

පාර්ලිමේන්තු සේවා කාලය වසර 15 ක් සපුරනු ලබන විශ‍්‍රාමික මන්තී‍්‍රවරයකුට ඔහු ලැබූ දීමනා හැර වැටුප පූර්ණ වශයෙන් හිමි වේ.

-අකිත පෙරේරා (දිවයින)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top