බාස්මතී සහල් ලෙස සඳහන් කර ව්‍යාජ ලෙස ආනයනය කළ දැනට රේගුවේ රඳවාගෙන විමර්ශනය කරන සහල් කන්ටේනර් 120 ක තොගය බාස්මතී සහල් ලෙස සහතික කරන ලෙස රේගුවේම ඉහළ නිලධාරියකු හා රජයේ ඉහළ පෙළේ කිහිප දෙනකුගෙන්ම බතලගොඩ සහල් පර්යේෂණායතනයට බලපෑම් එල්ල වන බව වාර්තා වේ.
සහල් තොගයේ සාම්පල් පරීක්ෂාවේදී එම සහල් බාස්මතී නොවන බවට තහවුරු වී ඇත. මෙම සාම්පල් හා සංසන්දනය සඳහා ඉහළ මිලකට වෙළෙඳපළෙන් මිලදී ගත් පිළිගත් මුද්‍රාව සහිත බාස්මතී නමැති සහල් වර්ගය ද බාස්මතී නොවන බවට තහවුරු වූ බව සහල් පර්යේෂණායතන ආරංචි මාර්ග පවසයි.
රේගුව මගින් සහල් පර්යේෂණායතනයට ලබාදී ඇති සියලූ සහල් සාම්පල් බාස්මතී නොවන බවට එහි අධ්‍යක්ෂවරයා විසින් මුද්‍රා තබා සහතික කිරීමෙන් පසුව ආයතනයේ නිලධාරීන් කිහිපදෙනකුට හා අම්බලන්තොට පර්යේෂණායතනයේ නිලධාරිනියකට බලපෑම් කර ප‍්‍රතිඵලය වෙනස් කිරීමට පිරිසක් උත්සාහ දරා ඇති බවද බතලගොඩ පර්යේෂණායතනයේ නිලධාරියෙක් සඳහන් කළේය.
කලක පටන් සිදුකරගෙන යන මෙම ජාවාරම පිටුපස මෙරට රැඳී සිටින පාකිස්තාන ජාවාරම්කරුවන් පිරිසක් සමග දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බවද, පාකිස්තානයේ සහල් අපනයන වෙළෙඳ සංගමයද මෙම ජාවාරමට විරෝධය පළ කරන බව ද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු කර්මාන්ත හා වෙළෙඳ ඇමැති රිෂාර්ඞ් බදුර්දීන් මහතාගේ සමයේ රජයේ කොප්ෆෙඞ් සමාගම මගින් ආනයන කරන ලද සහල් කන්ටේනර් තොගයක් ද රඳවාගෙන විමර්ශනය කරන අතර, තීරු බදු වංචා කරන ලද එම සහල් ද බාස්මතී නොවන බවත් එම සහල් ද සෘජුවම දේශීය ජාවාරම්කාර වෙළෙඳුන්ට ලබාදී ඇති බවත් හෙළි වී ඇත.
