දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබෙන අතර එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය.
නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එලෙස නිරෝධායනයට ලක් කෙරෙන පිරිස් වෙතින් ආහාර සඳහා රු. 7500ක් අය කෙරෙන බවට මාධ්‍ය වාර්තා රැසක් පළ වූ අතර ඒවා අසත්‍ය බව ඊට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේය.
මේ වන 181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මඩකලපුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව ආරංචි මාර්ග කියා සිටී.
එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් විසින් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.
ඉන් පසු දෙරණ, ස්වාධීන රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන රැසක් ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි. මේ අතර එලෙස මුදල් ඉල්ලූ අවස්ථාවක ඇති වූ ගැටුමක් බව දැක්වෙන වීඩියෝවක්ද සමාජ ජාලා තුළ සැරිසරමින් තිබේ.

