Editor's Pick

මරදානේ මිය ගිය කොරෝනා අසාදිතයා නිසා තවත් පාරක් වසා දමයි

මරදාන ප‍්‍රදේශයෙන් හමුවූ පසුව මියගිය කොරෝනා ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු එම පටුමගේ පදිංචිව සිටීම හේතුවෙන් කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන අතර මියගිය කොරෝනා ආසාදිතයා රෝහල්ගත කර ඇත්තේ ද අදාළ නාගරික මන්තී‍්‍රවරයා විසින් බවටයි තොරතුරු වාර්තා වේ.

එම නාගරික මන්තී‍්‍රවරයා වෙසෙන මේ වනවිට වසා දමා ඇති ඩිවොස් පටුමගේ පවුල් 200 ක් පමණ ජීවත් වන බවත් එම පිරිසෙන් කිසිවෙකුටත් ඩිවෝස් පටුමගෙන් පිටතට පැමිනීමට හෝ වෙනත් ප‍්‍රදේශවලින් එම පටුමගට ඇතුළුවීම ද සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති බවත් වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයාගේ බෑනා සහ මුණුබුරාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) තහවුරු වුණා. ඒ අනුව ඔවුන් විසූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයට අයත් නිවාස 10 ක වෙසෙන පුද්ගලයින් 1400ක් පමණ අනිවාර්යය නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

මියගිය එම පුද්ගලයාගේ 15 හැවිරිදි මුණුබුරා ඇසුරු කළ ළමුන් පිරිසක් ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසා සිටියා.

මේ අතර එම මහල් නිවාසවල විසූ පුද්ගලයින් 314 දෙනෙකු දින 14 ක නිරෝධායනය සඳහා යුද හමුදාව විසින් පුනානිහි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද රැගෙන පැමිණි බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top