කොළඹ 07 ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ එම කටයුතු සඳහා භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් අමාත්‍ය මණ්ඩලය විසින් 2020 මාර්තු 18 වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව, 2020.04.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂයක් බැගින් වන මාසික ගාස්තුවක් ගෙවන ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් නවුෆල් අබ්දුල් – රහ්මාන් මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණ සමයේ එම කටයුතු සඳහා භාවිතා කිරීමට කොළඹ 07 ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 දරණ ස්ථානයේ පිහිටි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂයක මාසික ගාස්තුවක් ගෙවා ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, විපක්ෂනායක නිල නිවස ලෙස භාවිතා කළ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව හිටපු විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතාගේ පරිහරණයට වෙන් කර ඇති බැවින්, කොළඹ 07 ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ල, විපක්ෂනායක නිල නිවස ලෙස භාවිතා කිරීම සඳහා අප්‍රේල් මස 11 වෙනිදා සිට වෙන් කල බවද නවුෆල් අබ්දුල් මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත එදිනම කළ දැනුම් දීමේ සඳහන්ව ඇත.
