ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් හා පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 12,654ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 206ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මාවතගම පොලිස් ස්ථානය මගින් පමණක් ඉකුත් දින කිහිපයේ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන්ගත් යතුරුපැදි 70ක් සිය භාරයට ගෙන තිබේ.
මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් වසාදමා තිබුණු අනුරාධපුර ඇලයාපත්තුව මහමාන්කඩවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සොරෙන් ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර 02ක් ඇතුළු රුපියල් ලක්ෂ 02ක පමණ විදුලි උපකරණ සොරකම් කළ තරුණයන් තිදෙනෙකු අනුරාධපුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ උපකරණ විකුණා මුදල් ලබාගෙන මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට සැකකරුවන් කටයුතු කර ඇතැයි අනාවරණ විය.
බේරුවල නල්ලහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2300ක් සමග සැකකරුවන් සිව්දෙනෙකුද කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අවුරුදු 19,20,22 හා 24 වයස්වල පසුවන්නන් වන අතර පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 4කට ආසන්නයි.
මාවතගම පොලිසියට ලද තොරතුරක් මත මාවතගම වික්‍රමසිංහ පුර ප්‍රදේශයේ නිවසක් ඊයේ සවස සිදුකළ පරික්ෂාවකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000ක්, රුපියල් එක්ලක්ෂ අනූඅටදහසක මුදලක්,ජංගම දුරකතන 8ක්,විදුලි තරාදියක් හා යතුරුපැදි 02ක් පොලිස් භාරයට ගැනුණි.
මෙම නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකර ඇති බව අනාවරණ වූ අතර ඒ අනුව සැකපිට එම නිවසේ පියා,මව,සහ පුත්‍රයා අත්අඩංගුවට ගැනුණි. සැකකරුවන් තිදෙනා අද තිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
