Female

හිත නොරිදවා සමාව ගන්නේ මෙහෙමයි

කිසිදිනෙක වැරැද්දක් නොකළ අයෙක් නැත. කිසිදිනෙක කිසිවෙකු නිසා හිත නොරිදවා ගත් අයෙකු ද නොමැත. නමුත්, සෑම මිනිසෙකුම පාහේ සිදු වූ වැරැද්දට සමාව ඉල්ලීමට පෙළඹෙනවා ද? නමුත් ඔබ සිදු වූ වැරැද්ද තේරුම් ගෙන සමාව ඉල්ලීමට මැළි නොවන අයෙක්ද? එසේ නම් ඔබගේ සමාව ගැනීම වඩාත් සාර්ථක කර ගැනීමට කළ හැකි උපක්‍රම කිහිපයක් ගැන දැනගන්න මේ ලිපියෙන් ඔබට පුළුවන්.

මිනිසුන්ගේ සමාව ගැනීමේ විධි ඔවුන්ගේ සමාජය හා පරිසරය මත බොහෝ විට වෙනස් අයුරින් සිදු වීම හේතුවෙන් මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන මනෝ විද්‍යාඥයන්ට ඒ සඳහා නියමාකාරයෙන් පර්යේෂණයන් සිදු කිරීම බොහේ සෙයින් ගැටළු ඉදිරිපත් කරන්නක් වී ඇත.

ලොව පුරා මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයන් අනුව ඔබට සමාව ගැනීමේ දී භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයක් පහතින් දැක්වේ.

1.වටිනා ත්‍යාගයක් ලබා දීම.

මෙය බොහෝ දෙනෙකු වටහාගන්නේ මිල අධික ත්‍යාගයක් ලබා දිමෙන් තමන් කළ අතපසු වීම් මඟ හරවා ගත හැකි බවයි. නමුත් එය එසේ නොවේ. වටිනා ත්‍යාගයක් යනු තමන් සමාව ඉල්ලන පුද්ගලයාට වටිනා සහිත යමක් වීමයි. ඒ තුළින් ඔහුට හෝ ඇයට කිසියම් බලපෑමක් සිදු වීමයි. උදාහරණයක් ලෙස ඔබ යොදා ගත් විනොද චාරිකාවක් සඳහා ඔබට සහභාගී වීමට නොහැකි වේ නම් “සමාවෙන්න, මට එන්න වෙන්නේ නෑ, නමුත් මම සෙනසුරාදා දවසම ඔයා එක්ක ඉන්නම්” යනුවෙන් පැවසිය හැකියි.

මෙම උපක්‍රමය පිළිබඳව හෙළි කරන මනෝවිද්‍යාඥ යොෂුකේ ඔට්සුබෝ (Yoshuke Ohtsubo) පවසන්නේ ඔහු විසින් ඇමරිකාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉන්දුනීසියාව, ජපානය, චිලී රාජ්‍යය සහ චීනය පාදක කරගනිමින් සිදු කළ පර්යේෂණ අනුව බොහෝ විට මෙය පොදුවේ හෝ කණ්ඩායමක් වෙත කරන සමාව ගැනීමකට ද යෝග්‍ය බවයි. මෙහිදී, වඩාත් සැලකිල්ලට බඳුන් විය යුත්තේ තමන් සමාව ඉල්ලන පුද්ගලයාට හෝ පුද්ගලයන්ට තමන් ලබා දෙන වටිනාකමයි.

2.ගෞරවය ලබා දීම

හවායි විශ්වවිද්‍යාලයේ එමී හබාර්ඩ් (Amy Hubbard) සඳහන් කරන අන්දමට ත්‍යාග ලබා දිමට වඩා වැඩියෙන් වැඩියෙන් වැදගත් වන්නේ, ‘අවංක ලෙස සමාව ඉල්ලීමයි’. එහිදී, තමන් අතින් සිදු වු වැරැද්දෙහි වගකීම ගැනීම, යම්කිසි අඩුපාඩුවක් ඉන් සිදු වූයේ නම් ඒ පිළිබඳව අවබෝධය, අනාගතයේ එවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීම, වැරැද්ද සිදු වූ අවස්ථාවේ දී ම සමාව ගැනීම හා තමන්ගේ අවංක පසුතැවීම යන කාරණා වැදගත් වේ. නමුත් මෙහදී වැදගත්ම කරුණ වන්නේ ‘සමාවෙන්න’ යන වචනය ප්‍රකාශ කිරිමයි. නමුත් සිදු වූ සුළු වැරැද්දක් සඳහා ඉහත ඇතුළත් කරුණු සියල්ලම අඩංගු වීමට අවශ්‍ය නොවේ.

3.ස්තූති කිරීම

ඇමරිකානු අලෙවිකරණ ජර්නලයක ඇතුළත් වූ පර්යේෂණාත්මක ලිපියකට අනුව සමාව ඉල්ලීමට පෙර පළමුවෙන්ම ස්තූති කර සිටීම වැදගත් වේ. උදාහරණයක් ලෙස, ඔබ කිසියම් පුද්ගලයෙකු හමුවීමට ප්‍රමාද වුවහොත්, ‘සමාවෙන්න, පරක්කු වුනාට’ ප්‍රකාශ කිරීමට වඩා ‘ස්තූතියි, බලා සිටියාට’ හෝ ‘ඔබගේ ඉවසීමට ස්තූතියි’ හෝ ‘අවස්ථාව තේරුම් ගත්තාට ස්තූතියි’ යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. ඔවුන්ගේ කැපවීම අගය කිරීමෙන් ඔබට ඔවුන්ගේ ආත්ම තෘප්තිය හා ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හැකි වේ. මෙය බොහෝ විට ව්‍යාපාරිකයන්ට වැදගත් වන කරුණක් වේ.

4.අවංකභාවය දැන්විම

මෙය සරලව ම ගතහොත් තමන් සමාව ඉල්ලන පුද්ගලයාට තමාගේ අවංකභාවය පිළිබඳව දැනෙන්නට අවශ්‍ය විමයි. ඔහුට හෝ ඇයට මෙය බොරු රඟපෑමක් ලෙස නොදැනීමයි. එලෙස සිදුවන්නේ පෙර සඳහන් කර පරිදි තමන් තමන්ට අවංක වි වරද තේරුම් ගෙන ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම හා අවංකවම සමාව ගැනීමයි.

එඩ්වින් බැටිස්ටෙලා (Edwin Battistella) විසින් පළ කරන ලද ‘Sorry about that:The Language of Public Apology’ නම් ග්‍රන්ථයේ ආයතනික ලෝකයේ වඩාත් සාර්ථකම සමාව ගැනීම ලෙස KFC ආයතනය විසින් 2018 වසරේ පළ කරන ලද පුවත්පත් දැන්විම් උපුටා දක්වමින් පවසා තිබෙන්නේ එහි මූලිකම සාධකය වන්නේ අවංකභාවය බවයි.

එබැවින් ඔබත් මෙයින් පසු සමාව ඉල්ලීමේ දී මේ උපක්‍රම අත්හදා බලන්න. වැරැද්දක් සිදු වීමට පෙර වළක්වා ගන්න. සිදු වුනහොත් සමාව ගැනීමට නොපැකිලෙන්න. ජීවිතයට වටිනාම දෙය වන්නේ මානව සබඳතාය. එය පළුදු නොකරගන්න.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top