ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
සීෂෙල්ස් රජයේ විශේෂ ඉල්ලීමක් මත සීෂෙල්ස් ජාතික රෝගීන් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් මැයි 23 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රිවිර වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ උපුටා දක්වමින්.
මේ සම්බන්ධයෙන් “සත්දින” කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ “අද දෙරණ” වෙබ් වාර්තාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමග යවන සුළු වාර්තාවක් බවයි. එමෙන්ම “රිවිර” වෙබ් අඩවියේ වාර්තාව නිවැරදි බවත් තහවුරු උනා.
ඒ අනුව සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් පැමිණ ඇත්තේ සීෂෙල්ස් හී රාජ්‍ය සේවකයින් පිරිසක් බවත් ඔවුන් හෘද හා වකුගඩු රෝගවලින් පීඩා විඳින පිරිසක් බවත් අනාවරණය වුනා. ඒ බව ජනාධිපති අතිරේක ලේකම්වරයා තහවුරු කරමින් කියා සිටින්නේ ඔවුන් සිය මුදලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය මගින් කළ ඉල්ලීමක් සළකා බලමින් මීට අවසර ලබා දී ඇති බවයි.
එමෙන්ම ඔවුන් එරටින්ම පීසීආර් පරීක්ෂණ සිදුකර එහි වාර්තා ද සමග පැමිණ ඇති බව කී ජනාධිපති අතිරේක ලේකම්වරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ දී ද යළි පරීක්ෂණ සිදුකරන බව හා රජය මගින් සපයන හෝටලයක ඔවුන්ගේ පුද්ගලික මුදලින් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ඉන් පසුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී ඔවුන්ගේ මුදලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ජනාධිපති අතිරේක ලේකම්වරයා කියා සිටිනවා.
