ද්‍රවිඩ මහ සභා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් අපේක්ෂක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් හිටපු කොටි නායකයෙකු වන කරුණා අම්මාන් සිදුකල ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
ඒ අනුව කරුණා අම්මාන්ට රහස් පොලීසියට පැමිණෙන ලෙස රහස් පොලීසිය විසින් දැනුම් දී තිබෙනවා.
කරුණා අම්මාන්ගේ මිලේච්ඡ ප්‍රකාශය
ජුනි 19 දින අදාළ ප්‍රකාශය කරමින් තමා කොරෝනාවටත් වඩා භයානක පුද්ගලයෙකු බව අයෙකු පවස ඇති බවත් එය නිවැරදි බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන සමයේ අලිමංකඩ දී තමන් විසින් ශ්‍රී ලංකා හමුදාවේ දෙතුන්දහසක් මරා දමා ඇති බවත් කිලිනොචිචියේ දී තවත් දහස් ගණනක් මරා දමා ඇති බවත් පවසමින් තමා සිදුකළ මිලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් කරුණා අම්මාන් අනාවරණයක් සිදුකළා.
ඒ අනුව හිටපු කොටි නායක කරුණාඅම්මාන් විසින් තමන්ගේම මිලේච්ඡ අපරාධ පිළිබඳව කළ ප්රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
කරුණා අම්මාන් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නොවේ – පොහොට්ටු මහලේකම්
අදාළ ප්‍රකාශය සිදුකළ කරුණා අම්මාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස හැඳින්වීමට ඇතැමුන් දරන උත්සාහය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ කරුණා අම්මාන් තම පක්ෂයේ සාමාජිකයෙකුවත් අපේක්ෂකයෙකුවත් නොවන බවයි. තම පක්ෂයේ අයෙකු එවැනි අන්තවාදී ප්‍රකාශයක් කළහොත් දැඩි පියවර ගන්නා බව පැවසූ මහලේකම්වරයා සඳහන් කළේ එවැනි අන්තවාදීන් පක්ෂයට කිසිදිනෙක එක් කර නොගන්නා බවයි. එකල ඔහුගේ සහය ලබාගත්තේ යුද උපක්‍රමයක් ලෙස පමණක් බවද මහලේකම්වරයා සඳහන් කළා.
නීතිපති මැදිහත් විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි
එසේම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළේ අලිමංකඩදී හමුදාවේ 2000 ක් 3000 ක් ඝාතනය කිරීමට කටයුතු කළ බවට කරුණා අම්මාන් කළ ප්රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස තමන්වහන්සේ පොලිස් මූලස්ථානය වෙත ජුනි 22 දින පැමිණිලි කරන බවයි.
එසේම කරුණා අම්මාන් කළ ප‍්‍රකාශය මගින් රටේ නීතිය ඉතා බරපතළ ලෙස උල්ලංඝණය වූ බැවින් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඍජු මැදිහත් වීමක් සිදුවිය යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
දෙමළ කොටි වීරයා හැටියට ඉදිරියට එන්න දරන උත්සාහයක් – චම්පික
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චම්පික රණවක සඳහන් කර සිටියේ “මෙච්චර කාලයක් කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයෙක් ලෙස හිටියා. ඔහු ඒ කාලයේ අපරාධ කළා කියන එක ප්‍රකාශ කරලා තිබුණා. නමුත් කිසිම අවස්ථාවක ඔහු පිළිඅරගෙන තිබුණෙත් නැහැ ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. ඔහු පිළිබඳ පරීක්ෂණයක් කළෙත් නැහැ. යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක කියා සිටියේ “දැන් ඔහුම ඉදිරිපත්වෙලා කියනවා, ඔහු වෙන පක්ෂයකින් තරඟ කළත් මෙවර ඔහුගේ සහය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව. ජාතික ලැයිස්තුවෙන් එන්න ආරාධනා කළා. හැබැයි ජාතික ලැයිස්තුවෙන් යන්න අපේක්ෂාවක් නැහැ, දෙමළ ජනතාවගේ ආශිර්වාදයෙන් නැගෙනහිර පළාතෙන් යනවා කියනවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙතුන්දාහක් මරපු දෙමළ කොටි වීරයා හැටියට එන්න යනවා. මෙහෙ කොළඹ අනික් පැතිවල ජන්දේ ඉල්ලනවා රණවිරුවෝ වෙනුවෙන්. මේකෙන්ම පේනවා ඉතාම දුෂ්ඨ දෙබිඩි දේශප්‍රේමය රාජපක්ෂලාගේ.” බවයි.
– රිවිර ඇසුරින්
