කොවිඩ්-19 වෛරසය එරෙහිව නිෂ්පාදනය කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ එන්නත් වර්ග 3ක් මෙරට භාවිතා කෙරෙනවා. එලෙස භාවිතා කෙරෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පූට්නික් ෆයිව් එන්නතයි.
කොවිෂීල්ඩ් එන්නත (ඇස්ට්‍රාසෙනෙකා එන්නත)
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සහයෝගයෙන් හඳුන්වා දුන් කොවිෂීල්ඩ් එන්නතෙහි නිෂ්පාදන හා අත්හදා බැලීමේ සහකරු ඉන්දියාවේ සීරම් ආයතනය වේ.
එම එන්නත සති 10ක් තුළ මාත්‍රා 2ක් ගත යුතු අතර, කාර්යක්ෂමතාව 81.3%ක්. එන්නත ගැනීමෙන් පසු හිසරදය, ඔක්කාරය, වෙහෙස, සීතල හෝ උණ, උණ රෝග ලක්ෂණ, සන්ධි හා මාංශ පේශී වේදනාව වැනි අතුරු ආබාධ වාර්තා වී ඇත. ඊට අමතරව කරකැවිල්ල, කෑම අරුචිය, උදර වේදනාව, වසා ගැටිති ඉදිමීම, අධික ලෙස දහදිය දැමීම, කැසීමද සමහර විට ඇති විය හැකිය. දරුණු අහිත කර ප්‍රතික්‍රියා මේ දක්වා වාර්තා වී නැති නමුත් ඕනෑම ඖෂධ නිෂ්පාදනයක් සඳහා එවන් අහිත කර ප්‍රතික්‍රියා ඇති විය හැකිය.
මෙම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකු වෙත ලබා දී ඇති අතර ඉන් 241,880කට එහි දෙවන මාත්‍රාව ද ලබා දී ඇත.
සයිනොෆාම් එන්නත
චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමූහය නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් එන්නත සති 4ක පරතරයකින් මාත්‍රා 2ක් ගත යුතුය. මේ එන්නතෙහි කාර්යක්ෂමතාව 86%කි. එන්නත ගැනීමෙන් පසු හිසරදය ඉතා බහුලව වාර්තා වේ.
එන්නත දුන් ස්ථානය වේදනාකාරි විය හැකි අතර, රත් පැහැ වීම, ඉදිමීම, මෘදු පටක ඝන වීම, කැසීම සාමාන්‍ය අතුරු ආබාධ ලෙස වාර්තා වන අතර, රතු පැල්ලම් ඇති වීමද කලාතුරකින් වාර්තා වේ. උණ, තෙහෙට්ටුව, මාංසපේශි වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, සන්ධි වේදනාව, පාචනය ද සම කැසීම බහුලව වාර්තා වේ.
වේව්ලීම, රස නොදැනීම, සමේ වන වේදනා රහිත හිරි වැටීම (කූඹි දුවනවාක් මෙන් දැනීම), වෙව්ලීම, මානසික වෙනස්කම්, ලේ වමනය, ඇදුම, උගුරේ අපහසුතා, සෙම්ගෙඩි, ශරීරයේ අපහසුතාව, බෙල්ලේ වේදනාව, හනු වේදනාව, බෙල්ලේ ගැටිති ඇති වීම, කටේ තුවාල, දත් වේදනාව, ගලනාලයේ අපහසුතා, ගැස්ට්‍රයිටිස්, අසූචි වර්ණය වෙනස් වීම, ඇස් වේදනාව, පෙනීම බොඳවීම, ඇස්වල අපහසුතා, කන වේදනාව, ආතතිය, අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, මුත්‍රා ඉබේ පහ වීම, ඔසප්වීම ප්‍රමාදවීම ආදිය පිළිබඳ ද ඉතා දුර්ලභ වශයෙන් වාර්තා වේ.
මෙම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 214,880 දෙනෙකු වෙත ලබා දී ඇත.
ස්පුට්නික් ෆයිව් එන්නත
ඇස්ට්‍රාසෙනෙකා, ගැමලෙයා පර්යේෂණ ආයතනය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් රුසියානු ආර් – ෆාර්ම් නිෂ්පාදනයකි.
මේ එන්නත සති 4ක පරතරයකින් මාත්‍රා 2ක් ගත යුතුය. (මාත්‍රා දෙක අතර පරතරය සති 3-12 දක්වා කාලය ඇතුළත ගත හැකිය). මෙහි කාර්යක්ෂමතාව 91.6%කි.
මේ එන්නත දුන් ස්ථානය වේදනාව, රතුවීම හා ඉදිමීම විය හැකිය. කෙටි කාලීන හිසරදය, වෙව්ලීම, උණ, අපහසුතාව, සන්ධි වේදනාව, මාංස පේශි වේදනාව වාර්තා වන අතර, ඔක්කාරය, අජීර්ණය සහ ආහාර රුචිය අඩු වීම සුලභව වාර්තා වේ. වසා ගැටිති ඉදිමීමද කලාතුරකින් වාර්තා වේ.
මෙම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,673 දෙනෙකු වෙත ලබා දී ඇත.
